COVID 19 දෙවන රැල්ල කළමනාකරණය අසාර්ථක වන ලකුණු

ශ්‍රී ලංකාවේ covid 19 වසංගත තත්ත්වයේ නවතම දත්තයන්ට අනුව මේ වන විට වාර්තා වී ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 14,101 වන අතර දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 5186 කි. වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 35 කි. අද වන විට සිදුකර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 598 421 වේ.

මෙම වසංගත තත්ත්වය දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක පුරා පැතිර ඇති අතර දිනකට රෝගීන් 400ක් 500ක් පමණ වාර්තා වෙමින් පවතී. මේ වන විට දිවයිනේ රෝහල් පනස් දෙකකට ආසන්න ප්‍රමාණයක් covid 19 රෝගීන් සඳහා විශේෂ ප්‍රතිකාර රෝහල් ලෙස වෙන් කර ඇති නමුත් එය වැඩි වන රෝගීන් සංඛ්‍යාවට අනුව ප්‍රමාණවත් නො වෙමින් පවතී.

  • මෙම තත්ත්වය කළමනාකරණය කිරීම පිළිබඳව ගැටලු රාශියක් දක්නට ඇත.
    වැඩි වන අවශ්‍යතාවයට අනුරූප ලෙස PCR යන්ත්‍ර නොමැතිකම නිසා දිනකට සිදුකරන PCR පරීක්ෂණ ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම.
  • PCR  වාර්තා ලැබීමට දින 3-4 දක්වා කාලයක් ගතවීම රෝගය තවදුරටත් ව්‍යාප්ත වීමට ඉඩ සැලසීමෙන් ඉතා අනතුරුදායක තත්ත්වයක් ඇති වීම.
  • රජය හා සෞඛ්‍ය අමාත්‍යාංශය නිරෝධායන පිළිවෙත් නිසි ලෙස කළමනාකරණය නොකිරීම.

මෙහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට නිවෙස් තුළ මරණ වාර්තා වන තත්වයක් දක්වා මේ තත්ත්වය වර්ධනය වී ඇත. මේ වන විට නිවෙස් තුළ මිය යාමට ලක් වූ ආසාදිත මරණ  සංඛ්‍යාව හයකි.

මීට අමතරව දිවයින පුරා රෝහල්වල කාර්ය මණ්ඩලයද ආසාදිත වීමේ තත්ත්වයක් උද්ගතවී ඇතිව පවතී. ආසන්න වශයෙන් හෙද නිලධාරීන් 23 ක් හා සියලු කාර්ය මණ්ඩලය 60 පමණ ආසාදනයට ලක්ව ඇති අතර සෞඛ්‍ය කාර්යය මණ්ඩල සාමාජිකයින් 400 කට වැඩි සංඛ්‍යාවක් නිරෝධායන පිළිවෙත් වලට ලක්කර ඇත. මෙසේ සෞඛ්‍ය කාර්යමණ්ඩල ආසාදනයට ලක්වීම අනාගතයේ ඉතාමත් ව්‍යසන තත්ත්වයක් ඇතිකිරීමට  හේතු වනු ඇත.

එසේම සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට තම සේවාවන් හි යෙදීමට සිදුව ඇත්තේ ද ඉතාමත් අඩු පහසුකම් මධ්‍යයේ ය. ප්‍රවාහන පහසුකම් නොමැති වීම, තම ප්‍රතිශක්තිය ආරක්ෂා කරලීමට පමාණවත්  පෝෂණ තත්ත්වයෙන් යුතු ආහාර පාන නොලැබීම, ප්‍රමාණවත් ආරක්ෂිත උපකරණ නොමැති වීම, සේවයට සරිලන ගෙවීම් නොමැති වීම ආදිය එවැනි ගැටලු කිහිපයක් ලෙස දැක්විය හැක.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ලෙස අප මැදිහත්ව හෙදියන් වෙනුවෙන් හඞ නැඟීමේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය ඔක්තෝබර් 22 වන දින අවශ්‍ය පහසුකම් ලබා ගැනීමට අදාලව අප විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් චක්‍රලේඛයක් නිකුත් කරවා ගත්තද එය ආයතන මට්ටමින් නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවක් පෙනී යයි. එහි ප්‍රතිඵලයක් ලෙස සමහර රෝහල් වල විරෝධතා ව්‍යාපාර හා වැඩවර්ජන ද ඇතිවිය.

හෙද නිලධාරීන්ගේ අයිතීන් සුරැකීම හා වෘත්තීය දියුණුව සඳහා කටයුතු කරන ලංකාවේ ප්‍රධානතමවෘත්තීය සංගමයක් ලෙස අපි COVID 19 සදහා විශේෂිත ලෙස වෙන් කෙරුණු රෝහල් හා ඒකක මෙන්ම නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගොස් එම ආයතනවල සේවයේ යෙදෙන හෙද නිලධාරීන්ගේ ගැටලු පිළිබඳව සොයා බලන ලද අතර එහිදී ගැටලු රාශියක් හඳුනා ගන්නා ලදී. එහි දී ඔවුන්ගේ අවශ්‍යතා  වෙනුවෙන් හඬ නැගීම, ඔවුන්ට අවශ්‍ය උපකරණ ලබාදීම මගින් පහසුකම් සැපයීම සිදු කළ අතර තවදුරටත් එම කටයුතු සිදු කරගෙන යමින් පවතී.

එසේම තවදුරටත් පහත සඳහන් කරැණු ඉටු  කරන ලෙස යෝජනා රජයට ඉදිරිපත් කර සිටිමු.

  • ප්‍රවාහන පහසුකම් ලබාදීම මගින් සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට පහසුකම් සැපයීම.
  • covid 19 රෝහල් හා ඒකක වල සේවයේ යෙදෙන සියලුම කාර්ය මණ්ඩලවල PCR  පරීක්ෂාවන් සිදු කිරීම.
  • අනෙකුත් රෝහල්වල සේවය කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල අහඹු PCR  පරීක්ෂණ සිදුකිරීම.
  • සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ආරක්ෂිත උපකරණ (PPE kits, අත් වැසුම්/gloves,  මුව වැසුම් /mask වැනි)
  • corvid 19 රෝහල් හා ඒකක වල කටයුතු කරන හෙද නිලධාරීන් සඳහා සේවාමුර අතරතුර විවේක කාල ලබාදීම.
  • COVID 19 වසංගතයට අදාල එදිනෙදා ගැටලු නිරාකරණය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ වෘත්තීය සමිති සම්බන්ධ වූ යාන්ත්‍රණයක් ඇති කිරීම.
  • රෝහල් වල රෝගීන් සංඛ්‍යාව අඩු කරමින් අවම සේවක සංඛ්‍යාවක් සේවයේ යෙදවීම.
  • සංචරණ සීමා හා ඇදිරි නීතිය පනවන ලද ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීම මගින් පහසුකම් සැලසීම.

සමන් රත්නප්‍රිය
සභාපති
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435