සුසානයේ අභිමුව නිද්‍රාවෙන් බැහැරට – ලාංකීය පන්ති ව්‍යාපාරය පිළිබඳ විවරණය

ලාංකීය වැඩකරන පන්තියේ ආරම්භය

1815 දී සුප‍්‍රසිද්ධ කන්ද උඩරට ගිවිසුම හරහා බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් ශී‍්‍ර ලංකාව සම්පූර්ණයෙන්ම යටත් කර ගන්නා ලදී. ආර්ථික බෝග වගා කොට තම මව් රටට රැුගෙන යාම බි‍්‍රතාන්‍යයන්ගේ ප‍්‍රමුඛ බලාපොරොත්තුව විය. එම කටයුත්ත සඳහා ඔවුන්ට විශාල ලෙස ඉඩම් අත්පත් කර ගැනීමට අවශ්‍ය විනි. මෙරට ස්වදේශික ජනයාගේ ඉඩම් අයිතිය පැහැර ගැනීම සඳහා එවකට බි‍්‍රතා්‍ය පාලකයන් විසින් මුඩුබිම් පනත බලාත්මක කර වසර දහස් ගණනක් ස්වදේශික ජනයා පාරම්පරිකව භුක්ති විඳි සිය ඉඩම් ස්වදේශික ජනයාගේ දැඩි විරෝධය නොතකමින් මර්ධනකාරී ලෙස සිය සැලසුම සඳහා පවරා ගන්නා ලදී.

බි‍්‍රතාන්‍යන්ගේ මුල්ම බෝගය ලෙස කෝපි වගාව ව්‍යාප්ත කිරීම සඳහා විශාල මිනිස් ශ‍්‍රමයක් අවශ්‍ය විය. ඒ සඳහා මෙරට ස්වදේශික සිංහල ජනයා වැටුප් ලබා දී කම්කරුවන් ලෙස යෙදවීම බි‍්‍රතාන්‍යයන්ගේ අවශ්‍යතාව විය. ස්වදේශික සිංහල ජනයා ඔවුන්ටම ආවේණික සංස්කෘතියකට උරුමකම් කී පිරිසකි. එම සමාජයේ එදා පැවතියේ වැඩ බෙදාගෙන කරන අත්තම් ක‍්‍රමයකි. තමන්ගෙන් කොල්ලකාගත් ඉඩම්වල වැටුපට වැඩ කිරීම කුලීකාර වහල් සේවයක් ලෙස ඔවුන් නිර්දය ලෙස ප‍්‍රතික්ෂේප කළේය.

සිය අධිරාජ්‍ය සිහිනය සපතකර ගැනීම වස් රටවල් යටත් කොට ගම්බිම් අල්ලාගෙන, ජනයා තම වහල් සේවයට නතු කරගැනීමේ බි‍්‍රතාන්‍යයන්ගේ අපේක්ෂාව ශී‍්‍ර ලංකාව තුල යථාර්ථයක් වනු දැකීමට නොහැකි විනි. සිය ප‍්‍රයත්නය අසාර්ථක වුවද තම අපේක්ෂාව අත් නොහල බි‍්‍රතාන්‍යයන් විකල්පය ලෙස බරපතල ආහාර ඇතුළු මූලික පහසුකම් හිඟතාවයෙන් පෙළුණු, වෙනත් සමාජීය ගැටළු වලින් පීඩා විඳිමින් සිටි දකුණු ඉන්දියානු දුගී දෙමළ ජනයා මෙම කෝපි වගාව සඳහා මිනිස් ශ‍්‍රමය ලබා ගැනීමට පෙළඹිනි.

දකුණු ඉන්දියාවේ සිට දහස් ගණන් දෙමළ ජනයා මන්නාරමට ගෙනවුත් ශීත කඳුකරය දක්වා පයින්ම රැගෙන යන්නට තරම් එවකට සිටි බි‍්‍රතාන්‍ය පාලකයන් සාහසිකත්වය ප‍්‍රදර්ශනය කළේය. එම දීර්ඝ දුෂ්කර ගමනේ දී දුගී දකුණු ඉන්දියානු සම්භවයක් ඇති අසරණ මිනිසුන් විශේෂයෙන් කඳුකර සීතලට ඔරොත්තු නොදීමේ තත්ත්වය තුල සිය ගණනක් මියැදුනේය. බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලකයන්ගේ මෘග කෘරත්වය යලි යලිත් තහවුරු කරමින් අද අප වතු ආශි‍්‍රත දෙමල ජනයා ලෙස හඳුනාගන්නා ජන කොටසේ ඵෙතිහාසික ආරම්භය මෙරට ඉතිහාසයට එක්විනි.

එය මෙරට වතු ආශි‍්‍රත දෙමල ජනයාගේ ආගමනය පමණක් නොවීය. ශී‍්‍ර ලංකාවේ වැඩකරන පන්තියේ සමාරම්භය ද සනිටුහන් කළේය. ශ‍්‍රමයට වැටුප් ලබාගන්නා පන්තියේ නොහොත් කම්කරු පන්තියේ භූමිකාව මෙරට සංස්කෘතියට එක්වන්නේ මෙලෙසිනි.

යටත් විජිත පාලකයන් විසින් ඔවුන්ගේ ආර්ථික සැලැස්ම කි‍්‍රයාත්මක කරනු පිණිස දුම්රිය මංමාවක් ඇතුළු යටිතල පහසුකම් ගොඩනැගීමට කටයුතු කලේය. කාලානුරූපීව මෙරට ස්වදේශික ජනයා වැඩකරන පන්තියට අනුගත   විය.

ලාංකීය වැඩකරන පන්තියේ අරගලයේ ඇරඹුම

කාර්මික විප්ලවය සමඟ ලොව පුරා කර්මාන්ත බහුල ලෙස බිහිවිය. එයට සමාන්තරව ලක්ෂ ගණනින් කම්කරු පන්තිය බිහිවිය. වැඩකරන ජනතාවගේ ආර්ථික හා සමාජීය අවශ්‍යතාවන් සන්තර්පනය කරනු පිණිස වෘත්තීය සමිති ව්‍යාපාරය ද බිහිවිනි. වැඩකරන පන්තියේ අරමුණු බලගැන්වීමට පන්ති අරගල ද ලොව පුරා නැගිනි. එහි ආස්වාදය ද ලාංකීය වැඩකරන පන්තියට 1890 වන විට දැනෙමින් තිබුනද සංවිධානගත සමිති බිහිවීමක් දක්නට නොලැබුනි.

1893 දී එවකට ලංකාවේ පැවති බි‍්‍රතාන්‍ය හිමිකාරිත්වයක් ඇති මුද්‍රණ සමාගමේ මුද්‍රණ සේවකයන් මෙරට පළමු ඵෙතිහාසික වැඩ වර්ජනය ඇරඹූහ. අඩු වැටුප් හා පාලකයන්ගේ දැඩි පීඩනය මෙම අරගලයට පාදක විනි. එම වර්ජනය ලාංකීය වැඩකරන පන්තියේ පළමු වෘත්තීය සමිතිය උපත ලැබූ තිඹිරිගෙය විය. වර්ජනය සමඟ පසුව එක්රැුස් වූ මුද්‍රණ සේවකයෝ ලාංකීය ඉතිහාසයේ පළමු වෘත්තීය සමිතිය වූ ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමයට සුජාත උප්පත්තියක් ලබා දුන්නේය. මෙරට පළමු අරගලය ජයග‍්‍රහණයෙන් අවසන් කර ජයග‍්‍රාහී ආස්වාද ලබන්නට අවස්ථාව ලැබිනි. කරත්තකරුවන්ගේ අරගලය, රෙදි සෝදන්නන්ගේ අරගලය වැනි ජයග‍්‍රාහී අරගල මෙරට සමාජය මත අරගල පිළිබඳ ධනාත්මක බලාපොරොත්තු ජනිත විය.

ලෝකය පුරා යටත් විජිත රටවල නිදහස ඉල්ලා සටන් ආරම්භ වී තිබුණු නමුත් අප රට තුල විශාල හිස් සමාජ අවශ්‍යතාවයකින් පැවතිණි. අධිරාජ්‍යවාදීන් විසින් හදාවඩාගත් ප‍්‍රභූ කොම්ප‍්‍රදෝරු ධනපති පන්තියක් සූක්ෂම ලෙස සමාජගත කර තිබුණි. ඔවුන් කිසි විටෙකත් නිදහස වෙනුවෙන් පෙනී නොසිටීමට වග බලා ගත්හ ජනතාව විසින් ‘‘කළු සුද්දන්’’ යැයි හැඳින්වූ දේශීය ප‍්‍රභූන්ට අවශ්‍යවූයේ අධිරාජ්‍යවාදීන්ගේ දෙපා මුල දනින් වැටී සිය වරප‍්‍රසාද වරදාන ලබා ගැනීමටය. මේ සඳහා දේශීය ප‍්‍රභූන්ද කම්කරු සමිති පිහිටුවාගෙන අධිරාජ්‍යවාදීන්ට

තමන්ට බලයක් ඇති බව පෙන්වා තම කුට්ටිය කඩා ගැනීමේ වැඩපිලිවෙලක නිරත විය. ඔවුන් වැඩ කරන පන්තියට සාධනීය යමක් එකතු කිරීමට අපොහොසත් විනි. එය ඔවුන්ගේ අරමුණු අතරට නොවීය.

ලාංකීය කම්කරු පන්ති ව්‍යාපාරයේ ආරම්භය

ලාංකීය කම්කරු පන්ති ව්‍යාපාරයේ පුරෝගාමියා යැයි අප හඳුනාගන්නා ‘‘ඇලෙක්සැන්ඩර් ඒකනායක ගුණසිංහ’’ නොහොත් ‘‘ඒ. ඊ. ගුණසිංහ’’ යන්ගේ ආගමනය මෙම අවධිය තුළ සිදුවේ. දෛවෝපගත ලෙස චිකාගෝ අරගලයට හරියටම වසර 5 කට ප‍්‍රථම ලෝක කම්කරු දිනය වූ මැයි 1 වන දින 1881 දී තේ වතු අධිකාරීවරයෙකු වූ ‘‘ජෝර්ජ් ඒකනායක ගුණසිංහ’’ ට දාව ඒ. ඊ. ගුණසිංහයන්යන් මෙලොව එළිය දුටහ. නුවර ධර්මරාජ විද්‍යාලයෙන් සහ කොළඹ සාන්ත ජෝශප් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ඔහු සිය පළමු රැකියාව ලෙස දුම්රිය ලිපිකරුවෙතු ලෙස සේවය අරඹන ලදී. සමාජ සේවා කටයුතු තුලින් එවකට ඒ. ඊ. ගුණසිංහයන් ජනපි‍්‍රය වී තිබිණ. 1922 සිය නායකත්වයෙන් ‘‘ලංකා කම්කරු සංගමය (CLU) ආරම්භ කරන ලදී. මෙරට සංවිධානාත්මක කම්කරු ව්‍යාපාරයේ ආරම්භය මේ සමඟ සනිටුහන් විය. විශාල වශයෙන් මෙම සමිති කම්කරුවන් හා සම්බන්ධ විය. වර්තමානයේ ‘‘වෙළඳ කාර්මික හා පොදු සේවක සමිතිය’’ (CMU)ලෙස හඳුනාගන්නේ එදා ලංකා කම්කරු සංගමය (CLU) ලෙස ආරම්භ කළ සමිතියයි.

මෙම යුගයේ කම්කරු පන්තියට ආවේණික උවමනාවන් වෙනුවෙන් පෙලගැසුනු ස්වාධීන ආකර්ශනීය සමිති ව්‍යාපාරයක් බිහිවිය. ජයග‍්‍රාහී සටන් රැුල්ලක් මෙම යුගය තුල බිහිවූ අතර මෙරට වැඩකරන පන්තියේ ශක්තිය ඉහලින්ම එසවුනු යුගයක් ලෙස දැක්වීම නිවැරදිය.

1923 දුම්රිය වර්ජනය සති 5 ක් පුරා ඇදෙන්නට විය. පන්ති අරගලයට පණපොවමින් වරාය, නගරසභා, රජයේ කර්මාන්තශාලා, වැල්ලවත්ත රෙදි මෝල ඇතුළු 25000 කට අධික සේවක පිරිසක් මෙම වර්ජනයට සහාය දැක්වීය. පන්ති අරගලයේ උණුසුම යටත් විජිත පාලකයන්ගේ ඉහමොළ රත්කරන්නට ප‍්‍රමාණාත්මක විය. අවසන් ප‍්‍රතිඵලය ලෙස 20% ක වැටුප් වැඩිවීමක් හා අනියම් හා ලෙඩ නිවාඩු දිනාගැනීමට හැකි විය. ඒ. ඊ.ගුණසිංහයන්ගේ නායකත්වය මෙම සටනට යෝධ ශක්තියක් විය.

1927 වරාය අරගලය එදා සී. එල්. යූ නායකත්වය යටතේ මෙහෙය වූ තවත් ජයග‍්‍රාහී අරගලයකි. ඔවුන්ගේ ඉල්ලීම වූයේ දිනකට ශත 50 ක වැටුප් වැඩි වීමකි. ජයග‍්‍රාහී සටන අවසන දිනකට සත 25 කුත් දවල් කෑම විවේකය සඳහා විනාඩි 15 කාලයකුත් දිනාගත හැකි විය.

1920 දී සුප‍්‍රසිද්ධ ට‍්‍රැම්ප්කාර් අරගලය ඒ. ඊ. ගුණසිංහ මෙහෙය වූ තවත් සුවිශේෂී අරගලයකි. පොලිස් මර්ධනය හමුවේ වර්ජනයක් හා පොලීසිය අතර ගැටුම දුරදිග ගිය අතර මරදාන පොලිස් ස්ථානය ගිනිබත් වන්නට තරම් උද්වේගකර විය.

ලේක් හවුස් සටන, ගෝල්පේස් හෝටල් සටන පන්ති ව්‍යාපාර ලද පසුබෑම් පරාජයන් හැටියට ඉතිහාසයට එක් විය.

1928 දී ඒ. ඊ. ගුණසිංහයන්ගේ නායකත්වයෙන් පළමු දේශපාලන පක්ෂය ලෙස ‘‘ලංකා කම්කරු පක්ෂය’’ බිහිවිය. ඉන්පසු එතෙක් ස්වාධීනව පැවති කම්කරු ව්‍යාපාරය පක්ෂ දේශපානය සමඟ බද්ධවීමක් සිදුවිනි. හිටපු ජනාධිපතිවරයෙකු වූ ආර්. පේ‍්‍රමදාස හිටපු අධ්‍යාපන ඇමතිවරයෙකු වූ සී. ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මෙම පක්ෂයේ පුරෝගාමීහු විය. 1943 දී කොළඹ නගරසභාවේ පළමු ස්වදේශික නගරාධිපතිවරයා ලෙස කම්කරු පක්ෂයේ ගුණසිංහයන් ජයග‍්‍රහණය ලැබූහ. 1947 දී දේශීය ප‍්‍රභූන්ගේ කඳවුර වූ දක්ෂිණාංශික එක්සත් ජාතික පක්ෂ රජයට එක්වීම තුළින් සිය නිකැලැල් වැඩ කරන පන්ති පරිචයට අවැඩක් සිදුකරගන්නා ලදී.

ගුණසිංහයන්ගේ පන්ති ව්‍යාපාරය තුල දක්නට ලැබුණු ප‍්‍රධාන කරුණ වූය් පන්තියේ වුවමනාව මත සමිති ව්‍යාපාරය ගමන් කිරීම, පූර්ණ නිදහස සඳහා වැඩකරන පන්තිය බලමුළු ගැන්වීම, ගුණසිංහයන්ගේ නායකත්වයෙන් 1920 දශකයේ ඇරඹි වෘත්තීය සමිති ද ස්වාධීනව ගොඩනැගුණු සමිති ද වසර 100 කට ආසන්න කාලයක් අදද ස්වාධීන ස්වරූපයෙන් දක්නට ලැබීම එනම් CMU (ලංකා වෙළෙඳ හා කාර්මික පොදු සේවක සංගමය) CESU (ලංකා වතු සේවා සංගමය) හා දුම්රිය වෘත්තීය සමිති ආශ්චර්යජනක අහම්බයකි.

මාක්ස්වාදී  කම්කරු ව්‍යාපාරයේ නැගී සිටීම

1930 වන විට මෙරට ඉහල මධ්‍යම පන්තික පවුල් වල දරුවන් විදේශ අධ්‍යාපනයට යොමුව තිබුනි. 1917 සෝවියට් බොල්ෂවික් විප්ලවය හරහා ලොව පුරා හමාගිය සමාජවාදී රැල්ලේ ආශ්වාදය විඳි එම තරුණ පරපුර මාක්ස්වාදීය අධ්‍යනය කල උගතුන් ලෙස මෙරටට පැමිණ තිබුණි. අධිරාජ්‍යවාදී පාලනයෙන් ගැලවීමට පූර්ණ නිදහස් අරගලය ද, සමානාත්මතා සමාජයක් වෙනුවෙන් සමාජවාදීයද සිය මව්බිමේ ස්ථාපිත කිරීමේ දැඩි උවමනාවකින් පෙළුනි. සිය විදේශ අධ්‍යාපනය ලැබී විශ්ව විද්‍යාලවල බටහිර සිසුන්ගෙන් ආසියාතික සිසුන්ට සිදුවූ ගැහැට ද තම අධිෂ්ඨානය තී‍්‍රවුර කරන්නක් විය.

කොල්වින්, ඇන්. ඇම්, පිලිප්, රොබට්, ලෙස්ලි, එස්. එ්. වික‍්‍රමසිංහ, කෙනමන් වැනි තරුණ කණ්ඩායමක් මාක්ස්වාදී කම්කරු පන්ති ව්‍යාපාරයේ පුරෝගාමීන් විය. සමාජවාදය ස්ථාපිත කිරීම සඳහා මාක්ස්වාදී ඉගැන්වීම් අනුව කම්කරු පන්තියේ ආඥදායකත්වයකින් යුතු ආණ්ඩුවක් පිහිට විය යුතු වීම, ප‍්‍රමුඛ කාරණය විය. මේ සඳහා නාගරික කම්කරු පන්තිය තුල සිය අත්තිවාරම සකසා ගැනීමත් අනතුරුව විප්ලවය උදෙසා ලාංකීය බොල්ෂවික් පක්ෂය නිර්මාණය කිරීමත් ඔවුන්ගේ සැලසුම විනි. සූරිය මල් ව්‍යාපාරය හරහා ජනතාව අතරට යෑම ආරම්භ විය. එවකට පැවති මැලේරියා වසංගතයෙන් 125000 පමණ මරණයට පත්වූ අතර විපතට පත් ජනතාවට ප‍්‍රතිකාර අධාර ලබා දී සූරියමල් ව්‍යාපාරය ජනතාව අතර ජනගත විය. 1932 දී වැල්ලවත්ත රෙදි මෝලේ ඇතිවූ අරගලය ඒ. ඊ. ගුණසිංහයන්ගේ සාමාජිකයින් විසින් අරඹන ලද අතර සටන අතර මගදී කොල්වින් විසින් එම වර්ජකයන් සඳහා මග පෙන්වීය. මාක්ස්වාදී කම්කරු පන්ති ව්‍යාපාරයට මෙරට පන්ති ව්‍යාපාරයට සිය ආරම්භය සනිටුහන් කළේ එලෙසිනි.

ජීවන බරින් හා පීඩනයෙන් හෙම්බත්ව සිටි මෙරට කම්කරු පන්ති ව්‍යාපාරයට මාක්ස්වාදීන්ගේ පූර්ණ නිදහස හා සමාජවාදය යන සටන්පාඨ වඩා ආකර්ශණීය විය. මාක්ස්වාදී තරුණ කි‍්‍රයාධරයන්ගේ ශූර කථිකත්වය හරහා සමාජවාදයේ ආශ්චර්්‍යය කම්කරුවන්ගේ පපු කුහර තුලට කිඳා බැසගනු ලැබීය. ශ‍්‍රමය හා ප‍්‍රාග්ධනය අතර ඇති ගැටුම සරලව කම්කරුවන්ට තේරුම්කර දෙන්නට මාක්ස්වාදීන්ට හැකිවිනි. තම ගැලවීම ධනපති ආණ්ඩුව හරහා සිදු නොවන බව කම්කරු පන්තියට ඉතා පැහැදිලි විය. පන්ති විරහිත සමාජවාදී සමාජයක් සඳහා ගමන්කිරීමට කම්කරු පන්තිය උවමනාවෙන්ම පෙළ ගැසුනි. එ්. ඊ ගුණසිංහයන් සතු නාගරික කම්කරු බලය ක‍්‍රමයෙන් මාක්ස්වාදීන් සතු විය.

මෙම යුගය මෙරට කම්කරු පන්ති ඉතිහාසය තුල ඉතා ඉහල වටිනාකම්, අගයන්, සන්කාමිත්වයන්, කැපවීම හා විනය ස්ථාපිත විනි. වැඩකරන පන්ති ව්‍යාපාරය තුල ස්ථාවර වන ඔවුන් 1935 දී මෙරට ප‍්‍රථම බොල්ෂවික්් පක්ෂය ලෙස ‘‘ලංකා සමසමාජ පක්ෂයට’’ ආරම්භය ලබා දුන්හ.

මාක්ස්වාදී කම්කරු පන්ති ව්‍යාපාරයේ ආරම්භයේදීම ආගම, ජාතිය, කුලය, ලිංග ආදී සියලූ පසුගාමී බේද බැහැර කෙරිනි. සිය ක‍්‍රියාධරයන් ඇමතීමට සහෝදරයා යන වචනය පන්ති ව්‍යාපාරයට හඳුන්වා දුන්නේය.

වරාය, දුම්රිය, පෞද්ගලික බස් සමාගම්, බැංකු, රජයේ කාර්යාල, රජයේ වැඩපල, ඛනිජ තෙල්, හෝටල් ඇතුළු ආර්ථික මධ්‍යස්ථානවල සිය සමිති ගොඩනැගීමටත් වැඩකරන පන්තිය ආකර්ශණයෙන් එ් වටා පෙලගැස්වීමටත් එම සියළු සමිති ලංකා වෘත්තීය සමිති සම්මේලනය (CFL) වටා ගොනු කිරීමටත් සමත් විය. විවිධ අංශවල සටන් ජයග‍්‍රාහී ලෙස නිම කිරීමට හැකිවිය.

මුල්ඔය සටන හරහා වතුකරයට ඇතුල් වූ ඔවුහු පුරවැසිභාවයවත් ලබා දීමට ආකාරුණික වූ යටත් විජිත පාලනයට එරෙහිව පෙලගැස්වීමට සමත් විය. වේවැස්ස ඇතුළු බි‍්‍රතාන්‍ය යටත් විජිත සමාගම් විසින් පාලනය කරන ලද වතුකරය තුල කම්කරුවන් සංවිධානකොට අරගලය ඇරඹීය. පූර්ණ නිදහස සඳහා මාක්ස්වාදී ව්‍යාපාරය ගෙනගිය සටන් නිසාත් වතුකරය තුල අධිරාජ්‍යවාදී ව්‍යාපාරයන්ට තිබූ තර්ජන නිසාත් සම සමාජ පක්ෂය තහනම් කර එන්. එම්. කොල්වින් ඇතුළු නායකයන් සිරගත කර කෙරිණ.

තහනම නොතකා සැඟව සිටි නායකයන් තම කි‍්‍රයාතාරිත්වය රහසිගතව කි‍්‍රයාවේ යෙදවූහ. බෝගම්බර සිරගෙදරින් ඉන්දියාවට පැණයාමට ඇන්. ඇම්. ඇතුළු වමේ නායකයන්ට හැකියාව ලැබුණි.

1946 වන විට මාක්ස්වාදී තම්කරු පන්ති ව්‍යාපාරය දෙකඩ විය. ස්ටැලින්වාදය පිලිගත් කණ්ඩායමට ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නිර්මාණය කරන ලදී. සම සමාජ පක්ෂය ට්‍රොස්කිවාදය පිලිගන්නා ලදී. කැඞී ගිය කොමියුනිස්ට් පක්ෂය ද විවිධ තැන්වල සමිති පිහිටුවන ලදී. එම සමිති එක්කර ලංකා වෘත්තීය සමිති සම්මේලනය (CFTU) ඇරඹිණ.

1946 මෙරට පළමු සමස්ථ මහා වැඩ වර්ජනය ආරම්භ විය. මාක්ස්වාදී කම්කරු සම්මේලන දෙකම එක්සත්ව එය කැඳවන ලදී. දහස් ගණන් කම්කරුවන් වරාය, දුම්රිය, රජයේ කාර්යාල, රජයේ කර්මාන්ත, පුද්ගලික ප‍්‍රවාහන සමාගම් ආදී ආර්ථික මර්මස්ථාන සියල්ල එකවර අඩපණ කෙරින. සටන සාර්ථකව ඉල්ලීම් දිනාගෙන කම්කරු පන්තිය තුල ජයග‍්‍රාහී මානසිකත්වයක් වර්ධනය විනි.

1947 දෙවන සමස්ථ මහා වැඩ වර්ජනය කැඳවිනි. දින ගණනාවක් ගෙවී ගියද සාර්ථක නොවිනි. පන්ති ව්‍යාපාරය තුල වූ බෙදීම් හා කි‍්‍රයාකාරී සහයෝගයේ මදකම රාජ්‍ය මර්ධනය මෙම අරගලය පරාජයට පත්වීමට ප‍්‍රමුඛව බලපෑවේය. සටනින් පසු සේවයට වාර්තාකල සේවකයන්ගෙන් විවිධාකාරයේ පලිගැනීම් වාර්තා විය. සටනේ එක් අදියරක දී දෙමටගොඩ ප‍්‍රදේශයේ දී පොලීසිය විසින් කුරිරු මර්ධන හස්ථය කි‍්‍රයාත්මක විය. සිදුකරන ලද වෙඩිතැබීමක දී ඇන් ඇම් අසල සිටි වී. කන්දයියා සහෝදරයා කම්කරු අරගලය වෙනුවෙන් සිය ජීවිතය පරිත්‍යාග කලේය මෙම වෙඩිතැබීම් හා බැටන් ප‍්‍රහාරය තුලින් 28 දෙනෙකු රෝහල් ගත කෙරිනි. එ් අතර ඇන්. ඇම්. පෙරේරා ද විය සටන් නායකයන් අත්අඩංගුවට ගැනීමට ද කටයුතු කෙරින. පන්ති ව්‍යාපාරය අමිහිරි පරාජයකට මුහුණ දී පසුබෑමට ලක්ව තිබුනි.

1953 හර්තාලය

එවකට බලයේ සිටි එක්සත් ජාතික පක්ෂ රජය විසින් ශත 25 තිබූ හාල් සේරුව ශත 70 වැඩි කරන ලද අතර අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යවන ලදී. පාසල් සිසුන් සඳහා නොමිලේ ලබාදුන් දිවා ආහාරය නවතා දමන ලදී.

තැපැල් ගාස්තු, දුම්රිය ගාස්තු ඉහළ දැමුනි වැඩකරන පන්තියේ ජීවන වියදම ඉහළ ගොස් ඔවුන් ඉතා නොසන්සුන් විය. මේ තත්ත්වය තුල වැඩකරන පන්තිය තුල නිසඟ අරගලයකට දොර විවෘත විය. ඒකාබද්ධ මාක්ස්වාදී කම්කරු පන්ති ව්‍යාපාරය රජයේ දුර්දාන්ත කි‍්‍රයාවලියට ප‍්‍රතිවිරෝධතා දැක්වීමට සමස්ත මහා වැඩ වර්ජනයක් කැඳවූ අතර ආර්ථික මර්මස්ථාන ඇතුළු සියලූ ස්ථානවල සටන සාර්ථක විය. පොලිස් මර්ධනය දියත් කල අතර සටන් සගයන් 09 දෙනෙකු ජීවිත පූජා කෙරින. ජනතා විරෝධයද රළගසා නැගෙන්නට විය. රට පුරා කඩ සාප්පු ඇතුළු ස්ථාන වසා විරෝධය වැඩෙන්නට විය. පාසල් ළමුන් ද පාසල් යාම නැවැත්වීය රට අරාජිත තත්ත්වයට පත් විය. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ද සටනේ ඉල්ලීම් වලට සහයෝගය ප‍්‍රකාශ කල අතර මෙරට කම්කරු පන්තියේ අරගලය ප‍්‍රථම වතාවට ආණ්ඩුවක් දණගැස්සවීමට සමත් විය. බියට පත් පාලකයන් සිය කැබිනට් රැස්වීම පැවැත්වූයේ නවතා තැබූ නැවකය. අනතුරුව ඩඞ්ලි සේනානායක අගමැතිවරයා සිය තනතුරින් ඉල්ලා අස්විය. ඉල්ලීම් ජයග‍්‍රහණය කල අතර මෙරට කම්කරු පන්ති ව්‍යාපාරය ලද ඉහළම ජයග‍්‍රහණය ඉතිහාසයට එක්විය. විප්ලවය පිළිබඳව මාක්ස්වාදී පන්ති ව්‍යාපාරය ලද ඉහළම ජයග‍්‍රහණය ඉතිහාසය එක් විය. විප්ලවය පිළිබඳව මාක්ස්වාදී පන්ති ව්‍යාපාරය තුල පැවති අපේක්ෂාව ඉහල ගිය අතර අරගල සඳහා පොදු මහජනතාවගේ සහයෝගය ආශ්වාදජනක විය. 1956 බණ්ඩාරනායක ආණ්ඩුව එතෙක් පන්ති ව්‍යාපාරයේ සටන් පාඨ ජනසතුකරණය හා කම්කරු සහන අණපනත් කි‍්‍රයාවේ යොදවන ලදී.

මාක්ස්වාදී කම්කරු පන්ති ව්‍යාපාරයේ පසුබෑම

ශ‍්‍රමය හා ප‍්‍රාග්ධනය අතර ගැටුම සන්සිඳුවීමට පන්ති විරහිත සමාජයක් වෙනුවෙන් පෙලගැසුනු මෙරට වැඩකරන ජනතාව ආණ්ඩුබලය ලබාගනු පිණිස දශක තුනක් තිස්සේ කල අපරිමිත කැපකිරීම් බලාපොරොත්තු වික්ෂිප්තභාවයට පත්කරමින් තම මාක්ස්වාදී ඇදුරන් පන්ති සහයෝගීතා දේශපාලනයට දක්ෂිණාංශික පක්ෂ සමඟ හවුල් ආණ්ඩු දේශපාලනයට 1964 දී නතු විය. අවස්ථාවාදය නොරිස්සූ එඞ්මන්ඞ් සමරක්කොඩි, වී. කරාලසිංගම්, බාලාතම්පෝ වැනි නායකයන් සභාග දේශපාලනය ප‍්‍රතික්ෂේප කර ඉන් ඉවත් විය. මාක්ස්වාදී කම්කරු පන්ති ව්‍යාපාරය තම මුල් පදනම බිඳ දමා නව මාවතක සිය පිය මැනීම හේතුකොට ගෙන එම ව්‍යාපාරය පිළිබඳ විශ්වාසය පළුදු වුනි. ක‍්‍රමිකව දැවැන්ත මාක්ස්වාදී කම්කරු පන්ති ව්‍යාපාරය පසුබෑමට ලක්වූ අතර ලද අවස්ථාවෙන් ප‍්‍රයෝජනයට ගන්නා දක්ෂිණාංශික එක්සත් ජාතික පක්ෂයෙන් ජේ. ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා සිය කූට බුද්ධිය කි‍්‍රයාවේ යොදවන අතර බලගතු වෘත්තීය සමිති ව්‍යාපාරයක් ගොඩනගන ලදී. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඇතුළු අළුතින් බිහිවන දේශපාලන ව්‍යාපාර සමිති ගොඩනගන අතර කම්කරු පන්තිය සීසීකඩ විසිරුණු තත්ත්වයක් දැකිය හැකිවිනි.

වැඩකරන ජනතාවගේ අවසන් සමස්ථ නැගී සිටීම

1977 දී ජයවර්ධන ආණ්ඩුව නිදහස් වෙළෙඳපල ක‍්‍රමය මෙරට ස්ථාපිත කර වසර 03 ක් ඉක්මයන්නට මත්තෙන් ජීවන වියදම අහස උසට නැගෙන්නට විය. ලංකා ඉතිහාසයේ උද්ධමනය 30% කට ආසන්න වූයේ ප‍්‍රථමවතාවටය. වැඩකරන පන්තිය තුල සුවපත් කල නොහැකි නොසන්සුන්භාවයක් හට ගැනුන අතර නිසඟ අරගලයක් සඳහා උණුසුම ඉහල නැගිනි. මාක්ස්වාදී කම්කරු පන්ති ව්‍යාපාරය, ශී‍්‍ර. ල. නි. ප. සමිති ඇතුළු ප‍්‍රධාන සමිති ගණනාවකින් සමන්විත එ්කාබද්ධ වෘත්තීය සමිති මධ්‍යස්ථානය සමස්ථ මහා වැඩ වර්ජනය කැඳවන ලදී. අරගලය ඇරඹිනි. දක්ෂිණාංශික සමිති ආණ්ඩුව ආරක්ෂා කරනු පිණිස සටන පරාජය කිරීමට සියලූ කඩාකප්පල්කාරී කි‍්‍රයාවල්වල නිරත විය. මැර කණ්ඩායම් යොදා සේවකයන්ට පහර දුනි. පන්තිය තුල වූ අසමගිකම්, කට්ටිවාදීකම්, අවස්ථාවාදීන් හා අතිවාමවාදී ජ.වි.පේ ද සටන මගහැර සිටි අතර ජයවර්ධන ආණ්ඩුවට සටන වර්ධනය කිරීමට එය නිහඬ ආශිර්වාදයක් විය. සටනේ උච්චතම අවස්ථාවේ සෝමපාල සහෝදරයා සිය ජීවිතය පන්ති ව්‍යාපාරය වෙනුවෙන් පූජා කරනු ලැබීය. ජයවර්ධන ආණ්ඩුවේ කෲර මර්ධනය හමුවේ අවස්ථාවාදීන් ගේ මගහැරයෑම් නිසා සටන ඇද වැටින. ලාංකීය කම්කරු පන්ති ඉතිහාසයේ දරුණුම පරාජයට මුහුණ පෑමට සිදුවිය. ලක්ෂයකට අධික පිරිසක් රැුකියාවෙන් පහ කරන ලදී. සැලකිය යුතු පිරිසක් සියදිවි නසාගන්නා ලදී. කටුක අමිහිරි මතකයන් පමණක් නොව මෙරට කම්කරු පන්ති ඉතිහාසයේ ඛේදවාචකයක් ලෙස ඉතිහාසයට එක්විනි. සටන් කි‍්‍රයාමාර්ගය අතරතුර අණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙක් පැවසුවේ කම්කරු පන්තිය කනත්තට දක්කනවායැයි ජයවර්ධන ආණ්ඩුවේ අභිලාශය ප‍්‍රකාශයට පත්කළේය.

දක්ෂිණාශික වෘත්තීය සමිති පිබිදීම

1980 අරගලයේ ඇදවැටීම සමගම ප‍්‍රගතිශීලී පන්ති ව්‍යාපාරය තවතවත් පටුවන්නට විය. සාමූහික අරගලය පළිබඳ පන්තියට ඇති විශ්වාසය දැඩිලෙස පළුදුවිනි. 80 මහා වැඩ වර්ජනයේ දී ජයවර්ධන ආණ්ඩුව එළියට දැමූ සේවකයන් වෙනුවට සේවකයන් ආදේශ කළ අතර සියල්ලම දේශපාලන පත්වීම් විය. සිය පක්ෂයේ ආසන සංවිධායකගේ රෙකමදාරුව මත සේවයට අනුයුක්තව කෙරින. ඔවුන් සියල්ලම ආණ්ඩුවේ වෘත්තීය සමිතිය වන ජාතික සේවක සංගමය :න්‍ ී ී* ට එක් විය. බිය ගැන්වීම් රාජ්‍ය මර්ධනය හරහා යටත්කර පිරිස සිය ආරක්ෂාව පතා ආණ්ඩුවේ සමිතිය වෙත පියනැගීය. ‘‘සාමූහික අරගල මතින් ජයග‍්‍රහණය ලබාගත නොහැකි බවත් පවතින ආණ්ඩුවේ සමිතිවලට සම්බන්ධ වීම තුලින් තම අරමුණ මුදුන්පත් කළ හැකි යැයි’’ යන මිත්‍යාව වැඩකරන ජනතාව මත පටවනලදී. මර්ධනයට හසුවූ ප‍්‍රගතිශීලී කම්කරු පන්ති ව්‍යාපාරය දුර්මුඛ වෙද්දී නායකත්වයක් නොමැති හිස් අවකාශයේ අතරමංවූ මෙරට කම්කරු පන්තියේ සැලකිය යුතු පිරිසක් උක්ත න්‍යාය පිලිගත්හ. එම න්‍යාය මත පිහිටා වරින්වර පත්වන ධනපති ආණ්ඩු පසුපස අපේ රටේ වැඩකරන ජනතාවගේ විශාල පිරිසක් ගමන් ගන්නා පසුගාමී තත්වයක් අද දක්වාම නිර්මාණය වී ඇත.

මෙම ධනපති පන්තියේ ආණ්ඩුවලට මුක්කු ගසන සමිති ව්‍යාපාරයක් තුලින් වැඩ කරන ජනතා ජයග‍්‍රහනයක් බලාපොරොත්තු වීම ඉබ්බාගෙන් පිහාටු ලබා ගැනීමට යාමකි. ධනපති පන්තිය නියෝජනය කරන ඔවුන් අවසානයේ ප‍්‍රාග්ධන හිමියාගේ නියෝජිතයාය. වැඩකරන ජනතාවට යම් යම් අවස්ථාවල කටු කැබලි ලැබෙනමුත් එ්වාද අර්බුදයකින් තොරව රාජ්‍යය පවත්වාගෙනයාමේ උවමනාව මතය. මෙම ව්‍යාපාරයෙන් මෙරට පන්ති ව්‍යාපාරයට එක්කල සාධනීය තත්වයන් නැති තරම්ය. එමනිසා මොවුන් මුට්ටිකාසි කරුවන්යැයි ඇමතීමේ වරදක්ද නොපෙනේ. මොවුන් විපක්ෂයේ සිටියදී වැඩ කරන ජනතාවට අපේ ආණ්ඩුව පිහිටුවනතෙක් ඉවසන්න යැයි කියමින් සටන මගහැර තම ආණ්ඩුව පැමිණි පසු සටන් නොකරන ලෙස දැනුම් දෙන්නේ ඉන් තම ආණ්ඩුවේ ස්ථාවරබවට හානි සිදුවන බව කියමින් ඇගබේරාගන්නා ප‍්‍රතිපත්තියකිනි.

වර්තමාන වෘත්තීය සමිති ව්‍යාපාරයේ අර්බුදය

අපේ රටේ වැඩ කරන පන්තියේ වෘත්තීය සමිති බොහෝමයක් පක්ෂ දේශපාලනය විසින් මෙහෙයවන බව නොරහසකි. සත්‍ය වශයෙන්ම ධනපති දේශපාලන ව්‍යාපාරවල න්‍යාය පත‍්‍රයට අනුව යෙදෙන නර්තනයක් මිස වැඩ කරන ජනතාවගේ අභිලාෂයෙන් හා සමපාත වන තත්වයක් නොමැත. සත්‍ය වශයෙන් මෙම සමීති එම දේශපාලන පක්ෂවල නියෝජිත ආයතන මිස සැබවින්ම වෘත්තීය සමිතිද යන්න විමසා බැලිය යුතුය. කම්කරු පන්තියේ පාරිශුද්ධ අයිතියක් වූ ලෝක කම්කරු දිනයද පන්තියට අහිමිව ඇත. එය දේශපාලඥයන්ගේ දිනය බවට පත්ව ඇත. රටේ නන් දෙසින් ඇදී එන දේශපාලන ගැත්තන් විසින් අසවල් නායකයාගේ බලවේගයැයි බෙරිහන් දෙන්නේ නොමිලේ ලැබෙන මත්වතුර හා බත්පත වලඳමින්ය. රඟ දෙන නාඩගම ඇත්ත වශයෙන්ම ගුජුප්සාජනකය. අද පන්තිය සිය උත්තරීතර දිනය දේශපාලඥයන්ගෙන් ගලවා ගැනීමට පෙළ ගැසිය යුතු කාලය එළඹ ඇත. වර්තමානය වන විට පැරණි වෘත්තීය සමිති අතරින් ඉතිරිව ඇත්තෙ ස්වාධීන ලෙස කටයුතු කළ සමීතියයි. ඉතිහාසය විසින් ස්වාධීනත්වයේ පැවැත්ම පිළිබඳ මෙරට පන්ති ව්‍යාපාරයට නිහඬවම උගන්වා ඇත. බොහෝ සමීති වෘත්තීය සමිති මූල ධර්ම වලට පිටුපාමින් සිටී. ‘‘තක්කඩි දේශපාලඥයන් පන්තියේ ගැලවුම් කරුවන් යැයි’’ උගන්වමින් බොල් පිළිම නිර්මාණය කරමින් පැවැත්ම තහවුරු කර ගනිමින් සිටියි.

තක්කඩි දේශපාලඥයන්ට පන්තිය සඳහා කළ හැකි දෙයක් නොමැති බව ඉතිහාසය යළි යළිත් පසක් කරනු ඇත. පන්ති අරමුණ ඉටුකළ හැකි වන්නේ පන්තියේ එක්සත්කම මත සිදුවන සාමූහික අරගල හරහා පමණය යන වෘත්තීය සමිති මූලධර්මය වැඩ කරන පන්තිය මත තහවුරු කිරීමට කැපවී ක‍්‍රියා කිරීමටත් දක්නට නැත. කොටුව ස්ටේෂම හෝ ලිප්ටන් වටරවුමට කම්කරු බලය ගාල් කර දේශපාලඥයන්ගේ මනෙදාළ සපුරන පන්ති ව්‍යාපාරයේ අනාගතය අවිනිශ්චිතය.

අපේ රටේ බොහෝ සමිති තුල මධ්‍යගත ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් භාවිතයේ නැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ව්‍යවස්තාව තුළ පමණක් දක්නට ලැබෙන තත්වයක් ඇත. අභ්‍යන්තර විවේචන සඳහා ඉඩකඩඅවමය. එවැනි විවේචන සමිතියේ උන්නතිය වෙනුවෙන් උපයෝගී කර ගැනීමක් පෙනෙන්ට නැත. සාමාජික පරමාධිපත්‍යය ක‍්‍රියාත්මක කිරීම වෙනුවට ශ්‍රේෂ්ඨයන්ගේ උවමනා මත තීන්දු තීරණ ක‍්‍රියාත්මක කර නායකත්වය සදාකාලිකව වැලද බදාගන්නා අතර දෙවන දෙවනපෙළ නායකත්වයක් දක්නට නැත. ජේෂ්ඨයන්ගේ මතය, තරුණයන්ගේ උනන්දුවක් නොමැති බවත්, තම අතීතියේ දී මෙවැනි තත්වයක් නොතිබූ බවයි. සත්‍යනම් ඔවුන් පැමිණ යුගයේ වෘත්තීය සමිති පිළිබඳව තිබුනු ආකර්ශනය පිළිගැනීම අද නැතිවීමය. මේ සඳහා වැඩ පිළිවෙලක් සැකසීම වෙනුවට විවිධ නන්දෙඩවිලිවල නිරතවීම තුලින් සිදුවනුයේ තම සමිතියේ අවසන් පුරුක ලෙස ඉතිහාසයට එකතුවීම පමණය. කාලයාගේ අවෑමෙන් ඇතැම් සමිතිවල නම් මාධ්‍යයට සමාජයට අමතකය. අසවලාගේ සමිතියැයි හඳුන්වයි. මන්ද යත් මෙම සමීතිවල නායකත්ව වෙනසක් සඳහා අපූරු ප‍්‍රජාතාන්ත‍්‍රික භාවිතය තුළ ඉඩ නොමැත. අවසානයේ සාමාජිකත්වය බැහැරවන තත්වයක් තුල මෙම නායකයන් එ්කනායකලා බවට පත්වේ.

පොදුවේ ගත්කළ අපේ රටේ සමිති ව්‍යාපාරයට වෘත්තීය සමිති මූලධර්ම මත පදනම්ව ගොඩනගාගත් ආවේණික පොදු දැක්මක් නැත. එ්නිසාම ආර්ථික සමාජීය ගැටළු ගැන විවරණයක් කිරීමට අපොහොසත්ය එය තම විෂය පරාසයට අයත් නොවේ යැයි බැහැර කරන තත්වයක් ද ඇත. මෙම මතවාදී දිළිඳු බව පන්ති ව්‍යාපාරය අයාලේ යන තත්වයකට පාර කපා ඇත. වොයිස් කට් සඳහා දතකට මැදගෙන සිටින අපේ සමිති නායකත්වය ශාස්ත‍්‍රීය හැදෑරීම් වලින් බැහැර වී ඇත. රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තියේ දී මාක්ස්වාදී කම්කරු පන්ති ව්‍යාපාරය දැරූ ප‍්‍රබුද්ධ මතය හා සැසදීමේදී අද අපේ පන්ති ව්‍යාපාරයට එවැනි මට්ටමකට පැමිණිය හැකිදැයි විමසිය යුතුව ඇත. ඵෙතිහාසිකව අපේ රටේ පන්තිව්‍යාපාරය පාරිශුද්ධ භාවය ආරක්ෂා කරගෙන ඇත. අද පන්ති ව්‍යාපාරය තුල ප‍්‍රමාණාත්මක විනිවිදභාවයක් නැත සම්පත් අපහරණය පිළිබඳ මැසිවිලි අසන්නට ඇත. පන්ති ව්‍යාපාරයේ අවංකභාවය යනු එහි පැවැත්මය. සාමාජික විශ්වාසය දිනා ගනු පිණිස අවංකභාවය අත්‍යවශ්‍ය සාධකයකි.

වර්තමානයේ  ශ‍්‍රමබලකායේ  අඩක්ම  කාන්තාවන්ය.  වෙළඳපොළ ආර්ථිකයේ  සාම්පලයට හැඩ  ගැසුනු  නවීන තරුණයන් වෘත්තීය සමිති ව්‍යාපාරතුලට නැඹුරුවීම අල්පය ඔවුන්ගේ ආකල්ප වෙළඳපොළ ක‍්‍රමයට අනුගත වූවකි. මෙය අභියෝගයක් ලෙස සලකන තත්ත්වයන් පන්තිව්‍යාපාරය තුළ දක්නට නැත. ඔවුන් ආකර්ෂණය කරගත හැකි හා යථාර්තවාදී ආකල්ප පෙරළියක් ඔවුන් තුළ සැකසීමේ වැඩ පිළිවෙලක් පිළිබඳව අවදානය යොමුව  නැත.

අපේ රටේ පන්ති ව්‍යාපාරයේ අර්බුදය තුළ එම අර්බුදයට අඩු වැඩි වශයෙන් සාර්ථකලෙස මුහුණ දෙන වෘත්තීය සමිති අතලොස්සක් දක්නට ලැබීම සත්තකින්ම ආශ්චර්ය ජනකය. අද මෙරට පන්ති ව්‍යාපාරය තුල පැහැදිලිව දක්නට ඇත්තේ කැඳ කෝප්ප අරගලයන්ය. ගෝත‍්‍රවාදී ලෙස තම අංශයට එ්කකයට හෝ කණ්ඩායමට බලාපන ප‍්‍රශ්න වෙනුවෙන් ගෝත‍්‍රවාදී මානසිකත්වයෙන් තම කැද කෝප්පය ආරක්ෂා කරගනු පිණිස කරන සීමිත මෙහෙයුමක නිතරව ඇත. වැඩ කරන පන්තියේ පොදු ආර්ථික සමාජමය ප‍්‍රශ්ණ වෙනුවෙන් පෙනී සිටීම මගහරිමින් එය ඉල්ලන් කෑමක්යැයි නිර්වචනය කරයි. තම පන්තියේම වෙනත් කොටස් වල සටන් ක‍්‍රියාමාර්ග සඳහා ක‍්‍රියාකාරී මැදිහත් වීම පසෙකලා අගැබේරා ගැනීමේ ගේමක නිතරවේ. සත්තකින්ම ලාංකීය වැඩ කරන ජනතාවගේ ව්‍යාපාරය අංශභාගයෙන් ඔත්පල වී ඇත. තිත්ත යථාර්ථය එයයි.

80 අරගලයේ දී ජයවර්ධන ආණ්ඩුවේ ඇමතිවරයෙකු වූ ලලිත් ඇතුලත්මුදලි කම්කරුවන් කන්නට කනත්තට දක්කන බව පැවසීය. එය ධනපති පන්තියට කළ නොහැකි වූවත් වසර 35 කට පසුව පන්ති ව්‍යාපාරයේම අවභාවිතය තුළින් අප සුසානයේ අභිමුවට පැමිණ ඇත. නිද්‍රාවෙන් මිදී පන්ති ව්‍යාපාරය නිවැරදි දිශාවට අනුගත කළ යුතුව ඇත.

දේශපාලඥයන් පසුපස යදිමින් යන පන්ති ව්‍යාපාරයක් වෙනුවට වැඩ කරන පන්තියේ අයෝමය ශක්තිය ගොඩ නගා දේශපාලඥයන් පන්තිය පිටුපස එන තත්වයකට පාර කැපීමට අප තවමත් ප‍්‍රමාද නැත.

කළ යුත්තේ කුමක් ද ?
  • පක්ෂ දේශපාලනයේ අවස්ථාවාදී නි්‍යාය පත‍්‍රවලින් බැහැර වී පන්ති අභිලාෂයන් ප‍්‍රමුඛ කරගත් ස්වාධීන බලයක් ගොඩනැගීම
  • සමිති තුල අභ්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කිරීම
  • වෘත්තීය සමිති මූල ධර්ම මත පදනම්ව දැක්මක් සහිත පොදු වැඩ පිළිවෙලක් සැකසීම
  • කාන්තා හා තරුණයන්ගේ වෘත්තීය සමිති නැඹුරුව ඇති කිරීමට ආකල්පමය පෙරළියක් සඳහා දැනුමෙන් සන්නද්ධ කිරීම
  • මනා විනිදභාවයකින් කටයුතු කර පාරිශුද්ධභාවය ආරක්ෂා කර ගැනීම.
  • සියලූ අංශ ඒකාබද්ධ කළ හැකි පොදු ස්වාධීන වෘත්තීය සමිති මධ්‍යස්ථානයක් ගොඩනැගීම

4 (1)

චතුර සමරසිංහ – උප සභාපති

ලංකා වතු සේවා සංගමය (CESU)

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435