වැඩකරන කාන්තාවන්ගේ සම වැටුප් අයිතිය සිහිනයක් පමණක්ද? යායුතු දුර 2050 ත් ඉක්මවන තත්වයක්

කොරෝනාවසංගතය වැඩකරන ස්ථානයන්හි සියළු ආකාරයේ ලිංගික කණ්ඩායම්වලට හිමිවිය යුතු සමානත්වය (gender equality) කෙරෙහි “අති විනාශකාරී” (“devastating”) බලපෑමක් එල්ල කරනු ලැබ ඇතැයි ශුභසාධක සංවිධානයක් පවසයි. එහෙත් ඒ අතරම “බලාපොරොත්තුවේ ඡායාවක්” ද ඇති බව එම සංවිධානයේ අදහස වෙයි.

“ෆෝසෙට් සංගමය” (Fawcett Society) නම් එම ශුභසාධක සංවිධානය පවසන පරිදි රැකියා අහිමිවීම අතින් වැඩි අනතුරක සිටින්නේ කාන්තාවන්ය. එපමණක් නොව, දරුවන් රැකබලා ගැනීම අතින් ද වැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙන්නේ කාන්තාවන් බවත් එම වාර්තාවේ දැක්වෙයි.

පහසු නම්‍යශීලී සේවා රටාවක් පවත්වාගනු ලැබීම සහ පියවරුන් දරුවන් සමඟ ගතකරන කාලය වැඩිකර ගැනීමට කොරෝනා වෛරසය හේතුවිය හැකි බවත් එම සංවිධානය පවසයි.

“ලිංගභේදයකින් තොරව සියලුදෙනාට සමාන අවස්ථා සැලසීමේ ප්‍රයත්නයේ ප්‍රගතියක් සහතික කරගැනීමට තමන් කැපවී සිටින,” බව මේ අතර බ්‍රිතාන්‍ය ආණ්ඩුව පවසයි.

ෆෝසෙට් (Fawcett Society) ශුභසාධක සංවිධානය Covid-19 වසංගතයේ බලපෑම සම්බන්ධයෙන් කරන ලද සමීක්ෂණයකින් අනතුරුව ඉහත අදහස් ඇතුළත් සිය ප්‍රකාශනය නිකුත්කර තිබෙන්නේ “සමාන වැටුපක් සහතිකකර ගැනීමේ දිනය” (Equal Pay Day) එළඹීමත් සමඟය. වැටුප් සාමාන්‍යය ගත්විට පුරුෂ පක්‍ෂයට සාපේක්ෂව කාන්තාවන්ට ගෙවන වැටුපේ අඩුවක් ඇතිබව පෙන්නුම් කෙරෙයි.

“ෆෝසෙට්” පුණ්‍යායතනය සිය සමීක්ෂණය සඳහා වැඩිහිටියන් 8,400ක් සහභාගි කරගනු ලැබ ඇත. එවිට අනාවරණය වූ එක් කරුණක් වන්නේ සිය රැකියා සහ රැකියාවේ ඉහළට යාම අතින් කාන්තා පක්‍ෂය කණස්සල්ලෙන් පසුවෙන බවය.

covid-19

ආගන්තුක සත්කාරය වැනි වසංගතය දැඩිව බලපෑ අංශවල වැඩකිරීමට කාන්තාවන් වැඩියෙන් මනාප බවක් සමීක්ෂණයේ දී අනාවරණය විය

වැඩකරන මව්වරුන්ගෙන් තුනෙන් එකකට පමණ වසංගත සමය තුළ එක්කෝ රැකියා අහිමිවීමකට එසේත් නැත්නම්, දරුවන් බලාගැනීමේ කාර්යයේ නිරතවීම නිසා වැඩකරන පැය ගණනේ අඩුවකට මුහුණදීමට සිදුවූ බව සමීක්ෂණයේ දී හෙළිවූ බරපතල කරුණකි.

කළුජාතික, ආසියානු සහ වෙනත් සුළුජන (BAME) කොටස්වලට අයත් මව්වරුන් ගත්විටඉහත සඳහන් කරන ලද වෘත්තීය ප්‍රශ්නයට මුහුණදීම 44%ක් තෙක් ඉහළ ගොස් ඇත.

එසේම, පසුගිය මාර්තු මාසයේ පටන් පුරුෂයන් සහ කාන්තාවන් යන දෙපාර්ශ්වයම දරුවන් බලාකියා ගැනීම අතින් වැඩිකාලයක් කැපකර ඇති අතර, මව්වරුන් සහ පියවරුන් ඒ සඳහා වෙන්කරන කාල පරතරයේ මට්ටම වැඩිවීමක් ද සමීක්ෂණයේ දී හෙළිවී ඇත.

‘කොරෝනා වසංගතයේ තීරණාත්මක මොහොතක්

පුරුෂයන් සහ කාන්තාවන් අතර ගෙවනු ලබන සාමාන්‍ය වැටුපේ පවතින ලිංගිකත්වය අනුව ඇති පරතරයේ අනතුරක් ඇති බවත් “ෆෝසෙට්” පුණ්‍යායතනය පවසයි.

ඔවුන් පවතින තත්වය විග්‍රහකරන්නේ “තීරණාත්මක මොහොතක්” හැටියටය. පවතින තත්වය වැඩකරන ස්ථානවල ගුණාත්මකභාවයේ ප්‍රගතිය කෙරෙහි වසර ගණනාවක් බලපානු ඇත යන්න එම සංවිධානයේ තවත් ප්‍රකාශයකි.

women

සිය තනතුරට සමාන තනතුරු හොබවන පුරුෂයන්ට තමන්ට ලැබුණ වැටුපට වඩා 50% කට වැඩි මුදලක් ගෙවන බව පවසමින් බීබීසී යේ චීන කටයුතු පිළිබඳ සංස්කාරිකා කැරී ග්‍රේසි සිය ඉල්ලා අස්වීම නිවේදනය කළාය

කෙසේවුවද, පෙර පැවති තත්වයට සාපේක්ෂව, තමන් මෙම වසංගත කාලය තුළ දරුවන් බලාකියා ගැනීමට ගතකරන කාලය දෙගුණයකින් වැඩිවී ඇති බව සමීක්ෂණයට සහභාගි වූ පියවරුන් ප්‍රකාශ කිරීමත් සමඟ, වසංගතය අවධියෙහි තත්වයේ වෙනසක් සිදුවීමට ඉඩකඩ ඇති බවක් පෙන්නුම් කරන ලද බවත් සමීක්ෂකයෝ පවසති.

එම තත්වය සාමාන්‍ය දෙයක් බවට හැරී දිගටම පැවතුනොත්, එමගින් ඊනියා “මාතෘ වැටුප් දඬුවමෙහි” අඩුවීමක් සිදුව ඒ සමඟ ලිංගිකත්වය අනුව සිදුවෙන වැටුප් පරතරයේ අවම වීමකට ද එය ඉවහල්වනු ඇතැයි “ෆෝසෙට්” පුණ්‍යායතනය පවසයි.

“පසුගිය ශතවර්ෂය පුරා මුහුණදුන් අර්බුද සමඟ මෙම කොරෝනා වසංගතය සංසන්දනය කරනවිට තීරණාත්මක ඓතිහාසික සන්ධිස්ථානයකට පැමිණ සිටිනවා,” ෆෝසෙට් සංගමය (Fawcett Society) නම් එම ශුභාසාධක සංවිධානයේ මහලේකම්, සෑම් ස්මෙතර්ස් (Sam Smethers) පවසයි.

“කොරෝනා වසංගතය විසින් අප තීරණාත්මක අවස්ථාවකට ගෙනත් තියෙනව. පවතින තත්වය ලිංගිකත්වය අනුව පවතින වැටුප් පරතරයටත් බලපාන බව පැහැදිලියි.”

ශුභසාධක සංවිධානයේ මහලේකම්, සෑම් ස්මෙතර්ස් ත්වදුරටත් මෙසේ සඳහන් කර ඇත.

“ආණ්ඩුව ආර්ථිකය යළි ගොඩනැගීමට කටයුතු කරන මොහොතේ අපගේ ළමුන් රැකබලා ගැනීම සහ සමාජ සංරක්ෂණය යන අංශවල යටිතල පහසුකම් නංවාලන්න මුදල් ආයෝජනය කළ යුතුයි. නම්‍යශීලී වැඩ රටාවක් සහ පියවරුන්ට වැටුප් සහිත නිවාඩු පහසුකම් වැඩිකිරීමත් ඊට ඇතුළත් විය යුතුයි.”

‘පූර්ණ කැපවීම’

ලිංගිකත්වය අනුව පවතින වැටුප් විෂමතාව අතින් ලබමින් සිටි ප්‍රගතිය බලයේ සිටින කොන්සර්වේටිව් ආණ්ඩුව යටතේ “සැලකියයුතු මට්ටමින්” මන්දගාමී වී ඇතැයි බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂය පෙන්වා දෙයි. දැනට පවතින තත්වය අනුව වර්ෂ 2052 වෙනතෙක් එම වැටුප් විෂමතාව තුරන්කර ගැනීමට නොහැකිවනු ඇතැයි ද ලේබර් පක්ෂය පවසයි.

ලේබර් පක්ෂය පවසන පරිදි, දැනට වයස අවුරුදු තිහේ මැදභාගයේ පසුවෙන බ්‍රිතාන්‍ය කාන්තාවන්ට ඔවුන්ගේ වෘත්තීය ජීවිතකාලය තුළ “සමාන සේවයට සමාන වැටුපක්” කිසිදාක අත්දැකීමට නොහැකිවනු ඇත.

women

ලෝක ආර්ථික සංසදයේ පර්යේෂණ අනුව, කාන්තාවන්ට සහ පුරුෂයින්ට සමාන අවස්ථා හිමිවීම අතින් ලොව ඉදිරියෙන්ම සිටින්නේ අයිස්ලන්තයය

එහෙත් “සමානාත්මතාව පිළිබඳ ආණ්ඩුවේ කාර්යාලයේ” (Government Equalities Office) ප්‍රකාශිකාවක් අදහස් දක්වමින්, මෙසේ සඳහන් කළාය.

“වැඩපොළෙහි ප්‍රගතියට අදාළව සියළු දෙනාට සමාන අවස්ථා ලබාදීම සහතික කිරීම සඳහා මේ ආණ්ඩුව සම්පූර්ණයෙන් කැපවීමෙන් කටයුතු කරමින් සිටිනව.”

“සිල්ලර වෙළඳාම, රැකවරණ සහ සත්කාරක අංශවලට වසංගතය විශේෂ බලපෑමක් එල්ලකරලා තියෙනව. ඒ නිසා තමයි- ආණ්ඩුව ආධාර වශයෙන් පුළුල් ආධාර පැකේජයක් සහතික කරලා තියෙන්නේ,” එම ප්‍රකාශිකාව වැඩිදුරටත් සඳහන් කළාය.

“වසංගතයෙන් ගොඩඒමට සහ රට එකමුතු කිරීමට ආණ්ඩුව අවධානය යොමුකරමින් සිටිද්දී, සමාගම් විසින් රැකියාවලට බඳවා ගැනීමේ දී සහ කාර්ය මණ්ඩලවල නිෂ්පාදන ශක්‍යතාව කෙරෙහි ඵලදායී බලපෑමක් ඇතිකෙරෙන නම්‍යශීලී වැඩ රටාවක් ආරම්භ කිරීමට පියවර ගනු ලැබීම ඉතාම වැදගත් කාර්යයක්.”

මූලාශ්‍රය – බීබීසී/සංදේශය

වැඩබිම

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435