රාජ්‍ය අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය රජය අවතක්සේරු කළාද?

විශ්ව විද්‍යාල අධ්‍යාපනය ඇතුළත් අමාත්‍යංශ විෂය ක්ෂේත්‍රයන් බෙදා වෙන්කිරීමේ ආකල්පයෙහි සද්භාවය පිළිබඳ ගැටළුවක් පවතින බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

එම සම්මේලනයේ සභාපති ආචාර්ය ප්‍රීමාල් ප්‍රනාන්දු මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.

එකී සම්පුර්ණ ලිපිය මෙසේය.

අතිගරු ජනාධිපතිතුමනි,

අධ්‍යාපනය සදහා දළ දේශීය නිෂ්පාදනයෙන් 6% ක් වෙන්කිරීම උදෙසා වූ අපගේ ඉල්ලීමේ වැදගත්කම වර්තමාන රජය විසින් හඳුනාගෙන තිබීම ධනාත්මක කරුණක් ලෙස විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය නිරීක්ෂණය කරයි. එසේම ඔබගේ මැතිවරණ ප‍්‍රකාශය තුළ ද රටේ අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය නගා සිටුවීම සම්බන්ධයෙන් පුළුල් අවධානයක් යොමුකර තිබෙන අන්දම අපි දුටුවෙමු.

කෙසේ වෙතත් රාජ්‍ය අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය පිළිබදව වත්මන් රජය දක්වන ආකල්පයෙහි සද්භාවය පිළිබදව ගැටළු සහගත තත්ත්වයක් ඇති වෙමින් පවතින බව පෙනේ. විශේෂයෙන් අධ්‍යාපනය හා සම්බන්ධ ඇමතිවරුන් පත්කළ ආකාරයත් ඔවුන්ගේ විෂය පථයන් තීරණය කර ඇති ආකාරයත් පිළිබදව යම් නොපැහැදිලි ස්වභාවයක් පවතී. විශ්ව විද්‍යාල අධ්‍යාපනය හා මහාමාර්ග යන විෂයන් ඒකාබද්ධ කර අමාත්‍යධූරයක් ඇතිකිරීම කිසිසේත් තර්කානුකූල නොවන කරුණකි.

සමාජයේ සුළුතරයකගේ අවශ්‍යතාවයන් සපුරාලීම සදහා පමණක් ඉවහල් වන පෞද්ගලික පාසැල් හා අධ්‍යාපන ආයතන හිමිකරුවෙකු විශ්ව විද්‍යාල අධ්‍යාපන රාජ්‍ය ඇමැතිවරයා ලෙස පත්කිරීම තුළ බරපතළ ප‍්‍රමුඛතාවය පිළිබඳ ගැටළුවක් පැනනගින බව ද අවධාරණය කිරීමට කැමැත්තෙමු. අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ ස්වකීය “ව්‍යාපාරයන්” පවත්වාගෙන යන අතරම, සමාජයේ පුළුල් බහුතරයකගේ සුභසිද්ධිය සදහා ඉවහල් වන රාජ්‍ය අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය ආරක්ෂා කිරීම හා එහි උන්නතිය උදෙසා මෙම ඇමතිවරයා කවර ආකාරයෙන් කටයුතු කරනු ඇතිදැයි යන්න පිළිබද දැඩි තැතිගැන්මක් අප තුළ පවතී.

රාජ්‍ය අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය ආරක්ෂා කිරීම පිළිබද දැඩි වගකීමක් රජය සතුව පවතින බවත් එය කිසිසේත් අවතක්සේරු කළහැක්කක් නොවන බවත් අපි අවධාරණය කිරීමට කැමැත්තෙමු. තවද දළ දේශීය නිෂ්පාදනයෙන් 6% ක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කිරීමේ අරමුණට ළඟාවීම උදෙසා රජය ගන්නා ක‍්‍රියාමාර්ග පිළිබඳවද විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය දැඩි අවධානයකින් සිටින බවද දන්වනු කැමැත්තෙමු.

එහෙයින් ඉදිරි අයවැයේදී අධ්‍යාපනය සඳහා වෙන් කරන ප‍්‍රතිපාදන සැලකිය යුතු ප‍්‍රතිශතයකින් ඉහළ නැංවීමට කටයුතු කරන ලෙස අපි ඉල්ලා සිට්මු. අවසාන වශයෙන් මේ සම්බන්ධව අවංක හැඟීමෙන් කටයුතු කරන පිරිසක් ලෙස, මුළු මහත් අධ්‍යාපන ක‍්‍රමය තුළම ඇති ගැටළු නිරාකරණය කර තිරසාර සංවර්ධනයක් සඳහා ඉවහල් වන අන්දමේ ජාතික කතිකාවතක් සඳහා මුල පිරීමට අප සූදානමින් සිටින බවද දන්වනු කැමැත්තෙමු.

ස්තූතියි,
ආචාර්ය පි‍්‍රමාල් ප‍්‍රනාන්දු

තවත් දෙස් විදෙස් තොරතුරු දැනගන්න පිවිසෙන්න වැඩබිම වෙබ් අඩවියට

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435