මැයි දිනයට අත නොතබනු

2018 මැයි දිනය වෙසක් සතිය නිමිති කොට ගෙන මැයි 07 දිනට යෙදීමට විරෝධය දක්වමින් එක්සත් කම්කරු සම්මේලනය විසින් පුවත්පත් නිවෙදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මැයි 01වනදාට මැයි දිනය පවත්වන බවයි.

එම නිවේදනය පහතින් දැක්වේ.

සෑම වසරකම මැයි මස 1 වන දා සමස්ත කම්කරු පන්තිය පවත්වන මැයි දින කටයුතු වෙසක් සතිය නිමිත්තෙන් මැයි 7 වන දිනට යෙදීමට මාර්තු 27 දින පැවති කැබිනට් රැුස්වීමේ දී තීරණය කළ බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇත.

මීට පෙර 1987 දී සහ 1996 දි දෙවරක්ම මැයි දින පෙළපාලි තහනම් කළ අවස්ථාවේ දී කම්කරු පන්තියේ බලවත් විරෝධය හා ප‍්‍රහාරයන් මැද එවක තිබුණු ආණ්ඩු පසු බසින ලදී. 1996 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක ආරක්‍ෂක හේතු මත මැයි දිනය තහනම් කළ අවස්ථාවේ දී නව සමසමාජ පක්‍ෂයත් එක්සත් කම්කරු සම්මේලනයත් සන්නද්ධ පොලිසිය සමග මහා මාර්ගයේ දී මුහුණට මුහුණ ලා ගැටෙමින් බලහත්කාරයෙන් මැයි දිනය පවත්වන ලදී.

රනිල්, මෛත‍්‍රී ආණ්ඩුවට එරෙහිව ගොඩනැගෙන ජනතා විරෝධය යටපත් කිරීමට වෙසක් සතිය මුවාවෙන් මැයි දිනය මැයි 7 දිනට යොදා විසුරුවා හැර දුර්වල කිරීමට කරන වෑයම දුබල බංකොලොත් ආණ්ඩුවකට කළ හැකි අමන ක‍්‍රියාවකි. සයිටම් පුද්ගලික විශ්ව විද්‍යාලය අහෝසිකරන ලෙස මහානායක හිමිවරුන් ඉල්ලා සිටි අවස්ථාවේ එම ඉල්ලීම ඉටු නොකළ ආණ්ඩුව මැයි දිනය කල් දැමීමට කළැයි කියන ඉල්ලීම ඉටු කිරීමට තීරණය කළා යැයි කීම ජනතාව පමණක් නොව මහා නාහිමිවරුන්ද නොමග යැවීමකි.

වහල් බවින් අත් මිදීමට කම්කරු පන්තිය සිය ජීවිත පරදුවට තබා කළ සටන සැමරීමට මැයි 1 වන දිනට යොදා ඇති ජාත්‍යන්තර මැයි දිනයට අත නොතබන ලෙස අපි රජයට දැනුම් දෙන අතර සමස්ත වෘත්තීය සමිති ව්‍යාපාරය සමග ඒකාබද්ධව තහනම බිඳ දමමින් මැයි දිනය සැමරීමට එක්වන ලෙස සමස්ත කම්කරු පන්තියට ආරාධනය කරමු.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435