හෝටල්වල සේවකයින්ගේ සේවා ගාස්තුව නීතිගත කල යුතුයි

 

ඩී.එම්.ඒ කල්දේරා ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ගෝල්ෆේස් හොටෙල් ශාඛා සභාපති

  • ඔබ වෘත්තීය සමිති ක්ෂේත්‍රයට පිවිසෙන්නේ කොයි කාලයේද?

ඒ 1989 අවුරුද්දේ.ඒ වෙද්දි තිබුණේ ලංකා කම්කරු කොංග්‍රසයයි. මං ඒකේ සාමාජිකත්වය අරන් වැඩ කළා.1993 දී තමයි ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ශාඛාවක් ගෝල්ෆේස් හෝටලයේ පිහිටෙව්වේ.මං ඒ කටයුත්තට මුල්වෙලා වැඩකළා. ඒත් මට වඩා ජ්‍යෙෂ්ඨයෝ හිටිය නිසා සංගමයේ තනතුරු ඒ අයට දීලා මං සංවිධායක තනතුර පමණක් බාරගත්තා.අවුරුදු 20 ට පස්සේ මං තමයි දැන් සභාපති.

  • නිදහස් සේවක සංගමය බොහෝ පුළුල්. ඔබ ශාඛා සංගමයක නායකත්වයක් පමණයි.කටයුතු කරගෙන යද්දී පවත්නා අභියෝග මොනවාද?

අපටත් මව් සංගමයක් තියෙනවා.අපේ සාමාජික ගාස්තුවෙන් කොටසක් මව් සංගමයටත් යනවා.අපි ශාඛා සංගමයක් හැටියට වගේ මව් සංගමයක් හැටියටත් තීන්දු තීරණ ගන්නවා. එතනදී සාකච්ඡා මාර්ගය හා අන්‍යෝන්‍ය අවබෝධය වැදගත්.ඒත් බොහෝ විට අපේ ප්‍රශ්න අපිම විසඳාගන්නවා. බැරිම වුණොත් තමයි මව් සංගමයට දැනුම්දීලා ඒ අයගේ සහය හා උපදෙස් ලබාගන්නේ.බොහෝ ශාඛා සමිති තමන්ගේ මව් සංගමය මත පදනම්වී කටයුතු කරත් අපි යම්තාක් දුරට ස්වාධීනව වැඩකරනවා. අපට අපේම වූ දැක්මක් තියෙනවා.

  • ඔබට පවත්නා ඔබේම වූ දැක්ම කුමක්ද?

මං වැඩකරන්නේ පළමුව ආයතනය,දෙවනුව රාජකාරිය තෙවනුව වෘත්තීය සමිතිය හැටියටයි.මං අපේ සාමාජිකයින්‍ට ආදර්ශයක් සපයන්නේත් එහෙමයි.අයිතිවාසිකම් දිනාගන්න වගේම ජීවිතය ගැටගහගන්න වැටුපක් ලබාගන්නත් ආයතනය තියෙන්න ඕන. ඒ නිසයි ආයතනය රැක ගැනීම කියන කාරණයට පළමුතැන දීලා තියෙන්නේ.දෙවනුව තමන් කරනා රැකියාවේ කාර්ය භාර්ය/වගකීම නිසි ලෙස ඉටු කළ යුතුයි.ඒක සේවකයාගේ යුතුකම හා වගකීමයි.යුතුකම් ඉටුකිරීමෙන් තොරව අයිතිවාසිකම් ලබන්න බෑ.ආයතනයත් රැකිලා අපගේ සේවය නිසි ලෙස ලබාදීලා ආයතනයට ලාභ උපයා දුන්නම අපේ අයිතිවාසිකම් නොසලකා හරින්න පාලනාධිකාරියට හැකියාවක් නෑ.එහෙම නැතුව අපේ අපේ රස්සාව හරියට කරන්නේ නැතිව ආයතනය කඩාවැටීමට ඉඩකඩ සලසා පාරට බැස්සට වැඩක් නෑ.

  • එයින් පෙනෙන්නේ ආයතනයේ කළමනාකාරිත්වය සමග සහයෝගයෙන් කටයුතු කිරීම ඔබේ දැක්ම බව ‍නේද?

අපේ ගොඩාක් වෘත්තීය සමිති විසින් කරන්නේ අරගලයකදී අන්තිමට පාවිච්චි කළ යුතු ආයුධය මුලින්ම පාවිච්චි කරනවා.ඒ තමයි වර්ජන.එතකොට ඒක අසාර්ථක වුණොත් වෙන කරන්නම දෙයක් නෑ.අනික ආයතනය රැකෙන්නෙ නැතිව ඒකේ නිෂ්පාදනය කඩාවැටුණම සේවකයින්ට අයිතිවාසිකම් ලබාදෙන්න කළමනාකාරිත්යකට බෑ.එහෙම වුණාම රස්සාවත් නැතිව ආයතනයක් නැතිව යනවා.තමන්ගෙ පැත්තෙන් යුතුකම් හා වගකීම් ඉටුකරමින් ආයතනයට සේවක ශක්තිය පෙන්නලා කේවල් කරලා බොහෝ දේවල් දිනාගන්න පුළුවන්.ඒක මං මගේ අත්දැකීමෙන් දන්න දෙයක්.

  • ඒ ආකාරයට සෑම ගැටළුවක්ම විසඳා ගැනීමට හැකියාවක් තියෙනවද?

බොහෝ විට. එහෙම නොවන අවස්ථා නැතිවා නෙවෙයි.වෙන කළ යුතු දෙයක් නැතිම අන්තිම අවස්ථාවකදී තමයි අපි දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යන්නේ.අපේ වගකීම් ඉටුකරලා, නිෂ්පාදන ඵලදායිතාව වැඩිකරලා ,ලාභ උපයලා දුන්නාම කරුණු නිසි ලෙස පෙන්වා දුන්නාම ඒ දේවල් ඉටුනොකර ඉන්නට පාලනාධිකාරියට හැකියාවක් නෑ. යම් ආකාරයකට මත ගැටුම් ඇති වන අවස්ථා නැතුවා නෙවෙයි.ඒ වෙලාවට පළමුව කළමනාකාරිතවය සමග සාකච්ඡා කර බලනවා.දෙවනුව මව් ශාඛාව සමග සාකච්ඡා කර ඒ අය හරහා බලපෑම් කර බලනවා.එහෙමත් බැරි වුණොත් සේව්‍ය සම්මේලනය හරහා බලකරන්න බලනවා. ඒත් බැරිනම් කම්කරු දෙපාර්තමේන්තුව හරහා සාධාරණත්වය ඉටුකරවා ගන්න බලනවා.එහෙමත් බැරි වුණොත් නම් දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යනවා.

  • හෝටල් ‍සේවා වෘත්තියේ පවත්නා විසඳාගත යුතු ගැටළු මොනවාද?

යම් යම් ගැටළු ගණනාවක් තියෙනවා. ඒත් ප්‍රමුඛතම ගැටළුව නම් සේවා ගාස්තුව නීතිගත කර නොතිබීමේ ගැටළුවයි.එය කම්කරු දෙපාර්තමේන්තුව/කම්කරු කොමසාරිස් ජනරාල් මැදිහත්ව පාර්ලිමේන්තු පනතක් මගින් නීතිගත කළ යුතුයි.අපි මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී පෙන්වා දී තියෙනවා. ඒත් තාමත් විසඳුමක් නෑ.

  • ඔබේ දැක්මට අනුව මේ ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා සාර්ථකවී ඇති බවක් පෙනෙන්නට නෑ නේද?

මෙහෙමයි අපි වෘත්තීය අරගල කරන්නේ තනි තනිව භුක්ති විඳින්න නෙවෙයි.උදාහරණයක් හැටියට මං සේවය කරන ගෝල්ෆේස් හෝටලයේ සේවා ගාස්තුව නිසියාකාරව ගෙවනවා.එතකොට මට ගැටුමක් ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ නෑ.ඒවා විසඳාගත්තේ සාකච්ඡා මාර්ගයෙන් තමයි.ඒත් මේ ක්ෂේත්‍ර යේ බොහෝ  ‍ආයතනවල ඒක ගෙවන්නේ නෑ.සාමාන්‍යයෙන් සේවා ගාස්තුවල 10%ක් සේවකයාට ලැබෙන්න ඕන.සමහර ආයතනවල ඒක 30% දක්වා ගෙවන තැනුත් තියෙනවා.ඒත් ඒක නිසියාකාරව නීතියක් වුණොත් නීතිය හැමෝටම පොදු නිසා ගැටළු ඇතිවෙන්නේ නෑ. ඒ නිසා ඒ සඳහා වූ අරගලය අඛණ්ඩව කළයුතුයි.

  • හෝටල් සේවකයින්ගේ මූලික වැටුප් පිළිබඳ ගැටළු නැද්ද?

හෝටල් සේවකයින්ගේ පමණක් නොව පුද්ගලික අංශයේ ඕනම ක්ෂේත්‍රයක මූලික වැටුප අඩුයි.ඒ ගැටළුව පුද්ගලික අංශයේ හැමෝටම පොදුයි.හෝටල් සේවයෙත් මූලික වැටුප රු.10,640 ක් .එහෙමත් නැත්නම් ඒ ආසන්න ගණනක්.ඊපීඑෆ් /ඊටී‍‍එෆ් කැපෙන්නේ මේ ගාණෙන්. ඒ හින්දා කොපමණ කාලයක් සේවය කළත් අන්තිමේ බලද්දී ඉතිරිවෙලා තියෙන්නේ බොහොම සුළු මුදලක්.සේවා ගාස්තුව ස්ථීර ලෙස වැටුපට එකතු වුණොත් ඊපීඑෆ් /ඊටී‍‍එෆ් කැපෙන්නේ ඒකත් එක්කමයි. කොහොමත් සේවා ගාස්තුව ‘උපයනවිට ගෙවිය යුතු බද්ද’ටත් යටත්. ඒ හින්දා මේ ප්‍රශ්නය විසඳා ගැනීමත්,මෑන් පවර් සමාගම් ‍හරහා සේවය කරන සේවකයින්ගේ ප්‍රශ්නයත් අද දැවෙන ප්‍රශ්න බවට පත්වෙලා තියෙනවා.

 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435