ප්‍රමාණවත් PCR පරීක්ෂණ ධාරිතාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය සතුවේද?

ශ්‍රී ලංකාවේ කෝවිඩ් 19 පරීක්ෂණ සඳහා පවතින PCR ධාරිතාව අනවශ්‍යය කළමනාකරණ ගැටළු කිහිපයක් හේතුවෙන් අර්බුධයට ලක් වෙමින් තිබේ. එසේම එම අර්බුධයන්ට වගකියයුතු පාර්ශවයන් විසින්ම අදාල අවුල් සහගත වාතාවරණය දඩමීමා කර ගනිමින් පෞද්ගලික අංශයටත්, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරිභාහිර අධ්‍යයන හා පර්යේෂණ රසායනාගාර වෙතටත් නිදර්ශක යොමු කරමින් කොවිඩ් වසංගතය පෞද්ගලික ව්‍යාපාරයක් බවට පරිවර්තනය කර ගනිමින් සිටී. PCR පරීක්ෂණයක් සිදු කිරීම යනු විශාල මුදලක් වැය වන කාර්යයක් වන අතර කොවිඩ් පරීක්ෂාව සඳහා මහජනතාව වෙත පනවා ඇති තහංචි හේතුවෙන් එම පරීක්ෂාව සිදු කිරීම සඳහා අනවශ්‍ය අධිකාරී බලයක් සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන්ට සහ අදාල ඉහල පෙලේ වෘත්තිකයන්ට හිමිව තිබේ. මෙම තත්වය හේතුවක් කර ගනිමින් PCR පරීක්ෂාවක් ඕනෑම මුදලකට අලෙවි කල හැකි කේවල් නොවන සේවාවක් බවට පත්ව ඇති බැවින් එමඟින් අනවශ්‍ය ලෙස මහජනතාව සූරාකෑමකට ලක් වීම වලක්වා ගැනීම සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීමකි. එසේම ඒ සඳහා රජය සහ විවිධ ආධාරක කණ්ඩායම් විශාල මහන්සියක් හා ප්‍රතිපාදන ප්‍රමාණයක් වැය කරමින් තිබියදී කිසියම් නිළදාරීයෙකු හෝ වෘත්තිකයෙකුගේ හෝ කණ්ඩායමක ලාභය උදෙසා මහජනතාව සූරාකෑමකට ලක්වෙන ක්‍රමවේද ක්‍රියාත්මක වන්නේ නම් එය බරපතල ගැටළුවකි.

අණුකජීවී රසායනාගාර 12 ක් පමණ දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ

අති විශාල වෑයමක් දරමින් PCR පරීක්ෂණ සිදු කිරීම සඳහා අධි සංවේදී තාක්ෂණික උපකරණ සහිත නිවැරදි වෘත්තිකයන් අතින් කළමනාකරනය වන අණුකජීවී රසායනාගාර 14ක් පමණ දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ කෝවිඩ්19PCR පරීක්ෂණ සඳහාම පමණක් ක්‍රියාත්මක වන අතර දිනකට PCR පරීක්ෂණ 5500ක පමණ ප්‍රමාණයක් එමඟින් ආවරණය කර ගත හැකිය. තවද ක්ෂය රෝග මර්ධන ව්‍යාපාරය යටතේ දිවයින පුරා විසිරී ඇති රෝහල් 36ක පමණ ස්ථාපිතව ඇති PCR යන්ත්‍ර මඟින් අවශ්‍ය ඕනෑම මොහොතක PCR පරීක්ෂණ 4000-4500ක පමණ ප්‍රමාණයක් සිදු කර ගැනීමේ හැකියාව පවතී. ඒ අනූව දැනට ලබා දී ඇති සාම්ප්‍රදායික තාක්ෂණය යටතේදී පවා 10,000ක පමණ පරීක්ෂණ ප්‍රමාණයක් දිනක් තුලදී සිදු කර ගැනීමට, අවශ්‍යනම් සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකියාව ඇත.

එසේම, ශ්‍රී ලංකා ජාතික රෝහල තුල අණූක ජීවී රසායනාගාර 2ක් ඉදි කිරීමට අනුමැතිය ලබා දී තිබියදීත් ඒ පිළිබඳව කිසිඳු කටයුත්තක් මෙතෙක් සිදුවී නොමැත. අදාල බලධාරීන් ඊට වගකියන්නේද වගවන්නේද නොමැති අතර අවම තරමින් ඒ විමසීමක්වත් සිදුවී නොමැත.බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල තුල අණුක ජීවී රසායනාගාරයක් ස්ථාපිත කිරීමේ තීන්දුව ලබා ගැනීමට පමණක් තෙමසකය අධික කාලයක් ගතවිය. අද වන විටත් එහි ඇත්තේ ආධාර වශයෙන් විවිධ ආයතන වලට ලැබුනු කුඩා PCR යන්ත්‍ර දෙකක් පමණි. එම එක් යන්ත්‍රයකින් පරීක්ෂණ වාර්තාවක් නිකුත් කරවා ගැනීමට පැය 6ක්/ 8ක් ගත වුවද දිනකට පරීක්ෂණ 700 ක පමණ ධාරිතාවක් ආවරණය කිරීමට තරම් එහි කාර්යය මණ්ඩලය කැපවී ඇත.

පැයක් ඇතුලත පරීක්ෂණ සිදු කරන පූර්ණ ස්වයංක්‍රීය එක් යන්ත්‍රයක් හෝ එහි ස්ථාපිත කර අවම කාලයකදී පරීක්ෂණ වාර්තා නිකුත් කිරීමේ හැකියාව ලබා දෙන ලෙස සිදු කරන ලද ඉල්ලීම් පිළිබඳව සැලකිල්ලක් දක්වන්නේ නම් එකී රසායනාගාරයේ පමණක් PCR ධාරිථාව 4000ක පමණ උපරිමයකට ගෙන යා හැකිය. කෙසේ නමුත් එම රසායනාගාරයට ලබා දීමට එකඟව තිබූ අනෙකුත් PCR යන්ත්‍ර ඉතා විශාල මුදලක් වැය කොට සැකසූ මුල්ලේරියාව රසායනාගාරයේ අඩු පාඩු වසා ගැනීමට යොදවා ගැනීම මඟින් බණ්ඩාරනායක ගුවන් තොටුපලේ රසායනාගාරය තුල PCR ධාරිතාවය වැඩි දියුණු කිරීමේ උවමනාවක් බොහෝ සෞඛ්‍ය බලධාරීන්ට නොතිබූ බව ඉතා පැහැදිලිය.

තත්ත්වය එසේ තිබියදීම ධාරිතාවේ කිසිඳු ප්‍රශ්ණයක් නොමැතිව ගුවන් තොටුපල වෙත පැමිණෙන ආගමනිකයන්ගේ දුප්පත් සහ පොහොසත් ලෙස වැලන දෙකක් නිර්මාණය කර පොහොසත් චැනලය පෞද්ගලික අංශය වෙත යොමු කරන ලද්දේ කාගේ වුවමනාවටද යන්න අප තවමත් ප්‍රශ්ණ කරමින් සිටිමු. පොහොසත් චැනලයෙන් මුදල් ගැනීමටත් වඩා අප මෙහිදී ප්‍රශ්ණ කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට පහසුවෙන් ඉපයිය හැකි අදායමක් පෞද්ගලික රසායනාගාර ගිණුම් වල බැර කරන්නට සෞඛ්‍ය අමාත්‍යාංශයේම නිළධාරී තීරණය කිරීම කෙතරම් යුක්ති සහගතද යන්න පිළිබඳවය.

මීට අමතරව මිලියන 250කට අධික මුදලක් වැය කරමින් අද වන විටත් කිසියම් රහසිගත මොඩලයකින් පරිපාලනය කරන්නට උත්සහ කරමින් සිටින මුල්ලේරියාව අණුක ජීවී රසායනාගාරය වැය කරන ලද මුදලට සාධාරණ PCR ධාරිතාවක් ලබා නොදීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩි සැලකිල්ලක් නොදැක්වීම ජුගුප්සාජනකය.

නමුත් අප රටේ මහජනතාව වෙනුවෙන් ඒ පිළිබඳව විමසිලිමත් වන්නේ ලෝක ආධාර යටතේ හෝ වැය කරන ලද එම මුදලෙහි වටිනාකම ලෙස අදාල PCR ධාරිතාවය කෝවිඩ් වසංගතයෙන් බේරීම සඳහා වෙර දරමින් සිටින රටේ මහජනතාව වෙනුවෙන් අනිවාර්යයෙන්ම සූදානම් කර තැබිය යුතු බැවිනි.

පෞද්ගලික අංශයට වැඩි බර තැබෙන තීන්දු ගැනීම

කෙසේ නමුත් PCR පරික්ෂණ ධාරිතාව පිළිබඳව තීරණ ගැනීමේ සාකච්ඡා කිසිවකට හෝ එම පරික්ෂණ සිදු කරමින් සිටින වෘත්තිකයන් හෝ ඔවුන්ගේ වෘත්තීයවේදී විද්වත් ආයතන නොකැඳවීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිළධාරීන් ගත හැකි සෑම උත්සහයක්ම ගනිමින් සිටින අතර ඒ වෙනුවට ඔවුන්ගේ නිරන්තර සාකච්ඡාවන් සිදු වන්නේ අදාල ව්‍යාපාරිකයන් හා පොද්ගලික ආයතන සමඟය. ඒ අනූව පෞද්ගලික අංශයට වැඩි බර තැබෙන තීන්දු ගැනීම හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර ධාරිතාව පිළිබඳව අනවබෝධයක් ඇති වීම ස්වාභාවික වුවද ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරියගේ හෝ ජනාධිපතිවරයාගේ අවධානය මෙතෙක් යොමු නොවීම අපට ස්වාභාවික තත්වයක් ලෙස සැලකිය නොහැක.

දැනට මෙම සියළු බැරෑරුම් තත්වයන් යටතේ වුවද 10,000ක පමණ PCR ධාරිතාවක් කළමනාකරණය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකිය. පැය 12ක පමණ කාලයකදී රසායනාගාරයට පැමිණෙන නිදර්ශකයක් සඳහා විධිමත් වාර්තාවක් නිකුත් කළ හැකිය. ඊට අවශ්‍යවන්නේ ලැබෙන නිදර්ශක ප්‍රමාණය අදාල රසායනාගාර වලට බෙදා හැරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමය.

පරීක්ෂණ වාර්තා වල නිරවද්‍යතාවය පිළිබඳව බරපතල ගැටළු ඇති කර ගැනීම

නමුත් වෛද්‍ය පර්යේෂණ ආයතනය හෝ වෙනත් එක් ආයතනයක් තුල සියළු වර්ගවල PCRනිදර්ශක ගොඩ ගැසෙන්නට ඉඩ හැර ඇති වන ව්‍යාකූල තත්වය තුල වාර්තා ප්‍රමාද වීමට විකල්පයක් ලෙස නැවත වතාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පිටත රසායනාගාර වෙත වගකීම පවරා පරීක්ෂණ වාර්තා වල නිරවද්‍යතාවය පිළිබඳව බරපතල ගැටළු ඇති කර ගැනීම කෝවිඩ් මර්ධන වැඩසටහනම අනවශ්‍ය අර්බුධයකට පත් කිරීමකි. PCR පරීක්ෂණ සිදු කිරීම සඳහා පර්යේෂණ රසායනාගාර වෙත අනවශ්‍ය වගකීමක් පැවරීම හේතුවෙන් වැරදි වාර්තා නිකුත් වීම සම්බන්ධව අපැහැදිලි ඉතිහාසයක් පැවතියදී පවා රජයේ රසායනාගාර ධාරිතාව පිළිබඳව කිසිඳු ගැටළුවක් නොතිබුනු අවස්ථාවලදී පවා පෞද්ගලික අංශයේ ව්‍යාපාරික අරමුණු සමඟ කෝවිඩ් PCR මර්ධන වැඩසටහන අතිපිහිත කරවීම හේතුවෙන් නැවත මේ මොහොතේ නිර්මාණය වී අර්බුධයද සෞඛ්‍ය බලධාරීන්ගේ සැලකිල්ලට ලක් විය යුතුය.

මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අදාලව නිකුත් කර තිබූ සමහර වාර්තා පිළිබඳව මතුවූ වූ සැක සහිත අවස්ථා විමර්ශණය කිරීමේදී පෞද්ගලික රසායනාගාර මඟින්ද මාස කිහිපයක් තිස්සේ වාර්තා නිකුත් කර ඇති බව අනාවරණය වී ඇත. නමුත් ඒ සඳහා බලය සැපයීමේ තීරණය කවුරුන් විසින් කිනම් අවස්ථාවේ ගනු ලැබූවක්ද යන්න මෙතෙක් අපැහැදිලිය. මෙම තත්වය වඩාත් තීව්‍ර කරමින් පෞද්ගලික අංශයට වරදින වාර්තා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නැවත නොමිලේ පරීක්ෂා කිරීමට වෛද්‍ය පර්යේෂණ ආයතනය කටයුතු කරමින් සිටින අතර එම තීරණයටද අයිතිකරුවෙකු හෝ ඒ සඳහා ලිඛිත නියෝගයක්ද මෙතෙක් හමුවී නොමැත.

ලොව පුරා භාවිතා වන විද්‍යාත්මක විකල්පයක් පිළිබඳව ඇස් වසා සිටීම

සියල්ල මෙසේ සිදු වෙමින් තිබියදී අදාල ආයතන වල සේවයේ යෙදවීමට සූදානමින් සිටින වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ උපාධිධාරීන් පත්කිරීමට මුදල් අමාත්‍යාංශ අනුමැතිය මෙතෙක් ලැබී නොමැත. එය සුවිශේෂි කරුණක් ලෙස නොසැලකීම පිළිබඳව ගැටළුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇති බවක් පෙනෙන්නටද නැත. මුල්ලේරියාව අණුක ජීවී රසායනාගාරයේ සහ අනෙකුත් අණුක් ජීවී රසායනාගාර 24 පැය පුරා ක්‍රියාත්මක කිරීමේදී සේවයේ යොදවන ලද නිළධාරීන්ට සාමාන්‍ය අතිකාල ගෙවීම සඳහා හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරය තවදුරටත් ප්‍රමාද වෙමින් පවතී. මේ සියළු කරුණු PCR ධාරිතාව රැක ගැනීම සඳහා අදාල වන අතර කෝවිඩ් වසංගතයේදී ඒවා තවදුරටත් ගැටළු ලෙසම නොපැවතිය යුතුය. මොනම තත්වයක් යටතේ වුවද, කෙතරම් PCR ධාරිතාවක් පැවතියද කොවිඩ් වලට අභියෝග කිරීමට කරම් අප බොළඳ විය යුතු නැත. එබැවින් අනවශ්‍ය ලෙස PCR පරීක්ෂණ සිදු කිරීම හා අනවශ්‍ය ලෙස PCR සඳහා පිරිවැයක් දැරීම අප පාලනය කල යුතුය. ඒ වෙනුවෙන් ලොව පුරා භාවිතා වන විද්‍යාත්මක විකල්පයක් පිළිබඳව ඇස් වසා සිටීමේ සමහර විශේෂඥ වෛද්‍යවරුන්ගේ පෞද්ගලික න්‍යායපත්‍රයන්ටද  අප හසු විය යුතු නැත. පෞද්ගලික අංශය හෝ වේවා අධ්‍යයන රසායනාගාර හෝ වේවා ක්ෂණික පරික්ෂණ හෝ වේවා අවශ්‍ය නොවන බවට බැහැර කල නොහැක. නමුත් ඒවා සියල්ල රටේ මහජනතාවගේ උවමනාව වෙනුවෙන් අත්‍යාවශ්‍ය අවස්ථාවන්හිදී ප්‍රයෝජනයට ගැනීම සඳහා සූදානම් කර තැබිය යුතු අතර විවිධ පුද්ගලයන්ගේ පෞද්ගලික ලාභය උදෙසා ඒවා අනිසි අයුරින් යොදවා ගැනීම පිළිබඳව පමණක් අතිශයින් සැළකිලිමත් විය යුතුය.

 

Station Current capacity Duration/hr Maximum capacity
1 Kandy NH 160 12 300
2 Karapitiya TH 250 24 300
3 MRI 500 12 750
4 Nuwaraeliya DGH
5 Badulla DGH 60 12 96
6 Apeksha – Maharagama
7 IDH – Angoda 500 24 750
8 Batticaloa TH 188 18 282
9 Jaffna TH 200 12 to 18 200
10 BIA – Katunayake 500 12 750
11 Colombo East – Mulleriyawa 1000 24 1250
12 AnuradhapuraTH 160 24 300
13 Rathnapura DGH 188 16 300
14 CNTH – Ragama 188 12 200
15 POCT PCR Systems (36) 0 Apr-16 4500
Total 3894 9978
Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435