කොරෝනා වසංගතය සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය: ගතයුතු නිවැරදි මාවත කුමක්ද ?

ගෝලීය කොවිඩ් වසංගතය වෙස්වලාගත් ආශීර්වාදයක් බවට පත්කර ගැනීමේ හැකියාව පවතී. මෙය හැරවුම ක ඇරඹුමක් කරගැනීමෙහිලා දේශපාලන නායකත්වය, රාජ්‍ය යාන්ත්‍රණය, පෞද්ගලික අංශය ඇතුළු සමස්ත පුරවැසියන් මත පැටවෙන්නේ ප්‍රබල වගකීමකි. 

සමස්ත පෘථිවි වාසීන් වෙත සාපේක්ෂව අඩු වැඩි වශයෙන් බලපෑම් එල්ල කළ කොවිඩ් -19 ගෝලීය වසංගතයේ පළමු රැල්ල ශ්‍රී ලාංකික අපට සාර්ථකව මැඩපවත්වා ගත හැකි වූයේ ඒ සඳහා අනුගමනය කළ යුතු වූ ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීමෙහිලා සියලු පාර්ශ්වයන් සද්භාවයෙන් තම යුතුකම් නොපිරිහෙලා ඉටු කිරීම තුළ ය.

මේ වන විට අපි කොවිඩ් -19 දෙවැනි රැල්ලකට ද මුහුණ පා සිටිමු. කෙසේ වෙතත් මේ වසංගත තත්ත්වයේ අයහපත් පැතිකඩ පමණක් දැකීම වෙනුවට එය රටේ යහපතට හරවා ගැනීම සම්බන්ධයෙන් තවමත් නිවැරදි ක්‍රියා පිළිවෙතක් දියත් වී නොමැත.

මෙය වනාහී හැරවුමක ඇරඹුම යි. තත්ත්වය නිසි ලෙස කළමනාකරණය කරගැනීම තුළින් ස්වයංව නැඟීසිටීමේ ශක්තිය අප විසින් ඇති කරගත යුතු ය.  ගෝලීය කොවිඩ් රැල්ලත් සමඟ සමාජීය, ආර්ථික, දේශපාලනික, පාරිසරික වශයෙන් උද්ගත ව ඇති අභියෝගයන්ට මුහුණ දීමේදී අප විසින් අතීතය කියවා ගැනීම වැදගත් වේ.

අප විසින් අතීතය කියවා ගැනීම වැදගත්

අපට වැරදුණු තැන් මෙන් ම අප කළ දෑ මොනවාද ? නොකළ දෑ මොනවාද? නොකළ යුතු කළ දෑ මොනවාද? කළ යුතු නොකළ දෑ මොනවාද? යන්න පැහැදිලිව හඳුනාගත යුතු ය. ඒ ඔස්සේ ස්වදේශීය ආර්ථිකයකට පරිවර්තනය විය යුතු ය. ස්වදේශීය ආර්ථික වෙළඳ ප්‍රතිපත්තියකට අනුගත විය යුතු ය.

මේ වන විට රටට ආදායම් ගෙන ආ, රටේ ජාතික නිෂ්පාදනයට දායකත්වය සැපයූ බොහෝ දෙනා කඩාවැටීමකට ලක්ව සිටී. මූලික වශයෙන් නිෂ්පාදන ක්‍රියාවලිය, බෙදාහැරීමේ යාන්ත්‍රණය බිඳවැටී ඇත. දේශීය අපනයන නිමවුම් විදේශයන් වෙත යවා ගැනීමේ දුෂ්කරතා පැනනැඟී ඇත. ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විදෙස්ගත ව උපයන විදෙස් විනිමයෙන් වැඩි කොටසක් අද අපට අහිමි ය. සංචාරක කර්මාන්තයට ද කණකොකා හඬා ඇත.

මෙයාකාරයෙන් බලන විට මේ උද්ගතව ඇත්තේ විදෙස් විනිමය රට තුළට ගලා ඒම ඉතා විශාල ප්‍රමාණයකින් පහත වැටී ඇති වකවානුවකි. මේ තත්ත්වය යහපත් අතට හරවා ගැනීම වෙනුවෙන් අප විසින් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ අවධානයක් ලබාදිය යුතු ය.   නිෂ්පාදන ක්‍රියාවලිය, එහිලා පළමුකොට අවාධානය ලබාදිය යුතු සාධකයකි. රටක ආර්ථිකය රඳා පවතින්නේ එරට පවත්නා නිෂ්පාදන ක්‍රියාවලියේ නිෂ්පාදන ධාරිතාව, කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව මත ය. එබැවින් ඒ සඳහා යොදාගන්නා නිෂ්පාදන සම්පත් නිවැරදිව කළමනාකරණය කරගත යුතු වුවත් මේ සම්බන්ධයෙන් අප තවම නිවැරදි තැනකට පැමිණ නැත. ඊට හේතුව අප තවමත් කර්මාන්ත අතර පෙර පසු අන්තර් සම්බන්ධීකරණයේ වාසි අත්පත් කරගෙන නොතිබීම ය.

පෙර කර්මාන්ත සම්බන්ධතාවය යනු දේශීය වශයෙන් ආරම්භ කරන කර්මාන්තයකදී ඒ කර්මාන්තයට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සහ යන්ත්‍රසූත්‍ර එහි ම නිෂ්පාදනය කිරීමට ඇති හැකියාව යි. උදාහරණයක් ලෙස අප කෘෂිකාර්මික නිෂ්පාදන බිහි කිරීමේදී අවශ්‍ය කරන යන්ත්‍රසූත්‍ර තාක්ෂණය අපි විසින් ම නිෂ්පාදනය කරගත යුතු ය. එකී පෙර කර්මාන්ත සම්බන්ධතාවය දියුණු කරගැනීම තුළින් එහි වාසිය අභ්‍යන්තරික වශයෙන් ලබාගත හැකි ය.

පසු කර්මාන්ත සම්බන්ධතාවය තුළ සිදු වන්නේ එක් කර්මාන්තයක නිමැවුම තවත් කර්මාන්තයක යෙදවුම බවටත් එකී කර්මාන්තයේ නිමැවුම තවත් කර්මාන්තයක යෙදවුම බවටත් පත්වීමේ ක්‍රියාවලියයි. නිදසුනක් ලෙස කපු වගා කරන ගොවියෙකුගේ නිමැවුම වන කපු, රෙදි නිෂ්පාදන කර්මාන්තයේදී යෙදවුම බවට පත් වේ. රෙදි, කර්මාන්ත ආයතනයේ යෙදවුම වන විට එහි නිමවුම බවට පත්වෙන්නේ ඇඟළුම් ය. එයාකාරයෙන් එහි අවසාන ප්‍රතිඵලය වශයෙන් නිමි ඇඳුම් වෙළෙඳපොළට බෙදා හැරීමේ යාන්ත්‍රණය අපට ශක්තිමත් කළ හැකි නම් කර්මාන්තවල පසු සම්බන්ධතාව යනුවෙන් හැඳින්වෙන්නේ එය යි.

මෙම කර්මාන්තවල පෙර පසු සම්බන්ධතාවයේ වාසි අත්පත් කරගැනීම වෙනුවෙන් කටයුතු යෙදීම මේ අවස්ථාවේදී කඩිනම් කළ යුතු ය.

බෙදාහැරීමේ යාන්ත්‍රණය නිවැරදි ව කළමනාකරණය වී නොතිබීම

එසේ ම අපගේ බෙදාහැරීමේ යාන්ත්‍රණය නිවැරදි ව කළමනාකරණය වී නොතිබීමත් බරපතල අඩුපාඩුවකි. සඟවා ඇති සහල් සහ වී තොග රජයේ නිලධාරින්ගේ සහ ආරක්ෂක අංශවල මැදිහත් වීමෙන් බලහත්කාරයෙන් එළියට ගැනීමට සිදු ව ඇත්තේ බෙදාහැරීමේ යාන්ත්‍රණය ශක්තිමත් නොවීම තුළ ය.

ඇතැම් භාණ්ඩවලට රජයෙන් පාලන මිලක් ගෙන එන විට එම පාලන මිල යටතේ විකිණීමට වෙළෙඳපොළේ භාණ්ඩ නැත. එම භාණ්ඩ නිෂ්පාදකයන් සහ වෙළෙන්දන් විසින් සඟවාගෙන සිටින ආකාරයක් පෙනෙන්නට තිබේ. මෙයාකාරයෙන් විකෘති වී ඇති බෙදාහැරීමේ යාන්ත්‍රණය, ප්‍රකෘති කිරීම රජය සතු වගකීමකි. එසේ ම ප්‍රකෘතිමත් වෙළඳපොළක් ඇතිකර ගැනීමට මහජනතාවගේ දායකත්වය ද අත්‍යවශ්‍ය වේ.

අතරමැදි කූට වෙළෙන්දන්ගෙන් පාරිභෝගිකයා බේරාගැනීමේ යාන්ත්‍රණයක් අවැසි ය. මෙරට තුළ පැහැදිලි ව භාණ්ඩ මිල ඉහළ යෑමේ මවාපෑමක්, අභ්‍යන්තර උද්ධමනීය මවාපෑමක් ඇත. එය වෙළඳපොළ අසමත් වීමක් නැතහොත් වෙළෙඳපොල විකෘති වීමකි. එය ප්‍රකෘතිමත්   කිරීමේ යාන්ත්‍රණයක් කඩිනමින් බලගැන්විය යුතු ය.

නිෂ්පාදනය හා බෙදාහැරීම අවසන් වන්නේ පරිබෝජනයෙන් වන අතර අප අද දකින්නේ පාරිභෝජනයට ගිජු සමාජයකි. 2004 වර්ෂයේ මහ බැංකුවේ පාරිභෝගික මූල්‍ය ආර්ථික සමීක්ෂණයෙන් හෙළිදරව් වුණු අන්දමට මෙරට ප්‍රධාන ආහාරය වන සහල් වෙනුවට රටේ අත්‍යවශ්‍ය භාණ්ඩය බවට පත් වුණේ තිරිඟු පිටි ය. එතුළින් පෙන්නුම් කෙරෙන්නේ කුමක්ද? පරිභෝජනයට ගිජු සමාජයක් තුළ තිරිඟු පිටිවලට සඳහා ඇති වූ ගිජු බව යි.

කිරිපිටි වෙළෙඳපොළ සම්බන්ධයෙන් ද දැකිය හැක්කේ ඒ හා සමාන ගිජු බවකි. පැණි බීම කෝලා සමාගම්, කෘත්‍රිම ආහාර විකුණන බහුජාතික සමාගම් මෙරට වෙළඳපොළ ආක්‍රමණයකොට හමාර ය. මේ පරිභෝජන රටාව නිවැරදිව කළමනාකරණය කරගත යුතු අතර එහිදී රටට අත්‍යවශ්‍ය සහ අත්‍යවශ්‍ය නොවන දෑ පැහැදිලිව වෙන්කරගැනීම වඩා වැදගත් ය.

ලොව ධනවත් ම රටවලට ඇඟළුම් නිෂ්පාදනය කරන අප අඳින්නේ ආනයනය කළ ඇඳුම් ය. අපට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයාගනිමින්, රෙදිපිළි හා ඇඟළුම් නිෂ්පාදනය කරගෙන පරිබෝජනය කිරීමේ හැකියාවක් ඇති කර නොගන්නේ මක් නිසාද? යන්න තව දුරටත් සිතා බැලිය යුතු ය.

සැබවින් ම අප කළ යුත්තේ පරිභෝජන ගිජු සමාජයෙන් ඈත් ව  ස්වදේශීය කර්මාන්තවලට අතහිත දෙමින්, ළදරු කර්මාන්තවලට ද රැකවරණයක් ලබාදිය හැකි අන්දමේ පරිභෝජන රටාවකට හුරුවීම ය.

ළදරු කර්මාන්තවලට ද රැකවරණයක් ලබාදීම

මෙතෙක් අප කතාබහට ලක් කළ රටක අභ්‍යන්තර ක්‍රියාකලාපය මෙන් ම රටක පරිබාහිර ක්‍රියාකලාපයත් මෙහිලා විශේෂ සාකච්ඡාවකට බඳුන් විය යුතු ම ය. ජාත්‍යන්තර ආර්ථික කටයුතුවලට, අන්තර්ජාතික වෙළෙඳාමට සම්බන්ධ වූ රටක් ලෙස අප සතුව අතීතයේ පටන් ආනයන අපනයන වෙළඳ ක්‍රියාවලියක් පැවතී ඇත. මේ කියන්නාවූ ආනයන අපනයන ක්‍රියාවලියෙන් අපට සම්පූර්ණයෙන් ම මිදී යා නොහැකි ය.

එසේ නම් රටට හිතකර හා වාසිදායක වන පරිදි අපේ ස්වභාවික සම්පත් කළමනාකරණය කිරීමෙන් අනාගත පරපුර උදෙසා තිරසාර සංවර්ධනයක් ඇති කිරීමෙහිලා බාධාවක් නොවන අන්දමේ නිෂ්පාදන අපනයනය කිරීමේත්, රටට හානිදායක නොවන ගුණාත්මක හා අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් ආනයනය කිරීමේත් ප්‍රතිපත්තියකට එළැඹිය යුතු ය.

එහිදී හුදු මූල්‍ය සහ ලාභ සංකල්පයෙන්  ඔබ්බට යමින් අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් ආනයනය කිරීමටත් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයන සීමා කිරීමටත් කටයුතු යෙදීම තුළ එතෙක් අප රට තුළ නිෂ්පාදනය නොකළ එහෙත් දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ විදේශීය වශයෙන් ආනයනය කරන්නේ නම්, එකී භාණ්ඩ දේශීය ව නිෂ්පාදනය කිරීමේ ආනයන ආදේශන ප්‍රතිපත්තියකට මාරු විය යුතු ය.

70 දශකය වන තෙක් මෙරට පුරා ව්‍යාප්ත ව පැවති පේෂ කර්මාන්තය ඔස්සේ රටට අවශ්‍ය රෙදිපිළි රට තුළ ම නිෂ්පාදනය විය. වේයන්ගොඩ, තුල්හිරිය, පූගොඩ, කුරුවිට වැනි ප්‍රදේශවල මහා පරිමාණයෙන් සිදු කෙරුණු පේෂකර්මාන්තය රට පුරා ව්‍යාප්ත ව පැවතිය ද විවෘත ආර්ථිකයත් සමඟ ම අපේ පේෂකර්ම අත්කම් ඇතුළු කුඩා හා මධ්‍ය ම පරිමාණ කර්මාන්ත සියල්ලක් ම පාහේ බිඳ වැටුණි. ඒවා යළි නඟා සිටුවීමේ ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් රටට අවැසි ය.

ඉන් අදහස් කෙරෙන්නේ විවෘත ආර්ථිකයෙන් ඉවත් වීමක් නොව, විවෘත ආර්ථිකය තුළ නිසි කළමනාකරණය කරගැනීමක් සහ තුලිත ආර්ථික ප්‍රතිපත්තියක් වෙත ගමන් ගැනීමක් ය.  තුලිත ආර්ථික ප්‍රතිපත්තියක් වෙත එළැඹීමේදී අප විසින් සලකා බැලිය යුතු කරුණු රැසක් ඇත.

මෙරට ආදායම් ව්‍යාප්තියේ විසමතාව එහිලා ප්‍රමුඛස්ථානයක තැබිය හැක. රටේ ආදායම් ව්‍යාප්ති විසමතාවයට මූලිකව ම හේතු වී ඇත්තේ ආදායම් ඉපයීමේ විසමතාවයයි. ආදායම් ඉපයීමේ විසමතාව ඉවත් නොකළහොත් ආදායම් ව්‍යාප්තියේ විසමතාවයෙන් අත්මිදිය නොහැක. වර්තමානය වන විට පාතාල ලෝකයේ කප්පම්කරුවන්, මත්ද්‍රව්‍ය වෙළෙන්දන්, අවිආයුධ වෙළෙන්දන් එක රැයින් කෙතරම් මුදලක් උපයන්නේ ද? ඔවුන්ගේ මුදල් බලය මත රාජ්‍ය නිලධාරින්, ආරක්ෂක අංශ නිලධාරින් මෙන් ම රාජ්‍ය යාන්ත්‍රණය පාලනය වන අන්දම පසුගිය වකවානුව තුළ හොඳින් ම පෙනෙන්නට තිබිණි.

කළු ආර්ථිකය

කළු සල්ලි මහා පරිමාණයෙන් මෙරට ආර්ථිකය තුළ සංසරණය වී ඇති බව පෙනෙන්නේ පාතාල සාමාජිකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරකරුවන් වටලන විට ය. මෙම ආදායම් ඉපයීමේ විෂමතාව ඉවත් කරමින්, නීති විරෝධී අන්දමින් ආදායම් ඉපයූ තැනැත්තන් නීතියේ රැහැනට හසු කරගෙන ඔවුන්ගේ දේපල හා මුදල් රාජ සන්තක කළ යුතු ය.  එසේ ම මෙරට තුළ පැහැදිලිව දැකිය හැකි පරිභෝජන විසමතාවට ද පිළියම් යෙදිය යුතු ය.

ඇතිහැකි අය පරිබෝජනය කරන ආකාරය නැතිබැරි අය දැකීම සමඟ සමාජය තුළ ද්වේශයක්, පළිගැනීමක්, ක්‍රෝධයක් හටගෙන තිබේ. සාර්ව ආර්ථික කරුණු කළමනාකරණය කළ යුත්තේ ඒ සියල්ල සමනය කරගත හැකි වන පරිද්දෙනි. මෙතෙක් කල් අප අනුගමනය කළ බටහිර ආකෘතීන්ට අනුව සිදු කළ සාර්ව ආර්ථික කළමනාකරණය තුළ, එකී සාර්ව ආර්ථික සමතුලිත තත්ත්වයට ළඟා වීමට නොහැකි විය. එබැවින් එකී බටහිර ආකෘතීන්ගෙන් මිදී මෙරටට ගැලපෙන ස්වකීය අර්ථික ආකෘතියකට මාරු විය යුතු ය.

එහිදී මෙරට තුළ පවතින පක්ෂ, ජාතිය, ආගම, කුලය මත බෙදී ඇති දේශපාලන ක්‍රමවේදයෙන් බැහැර වීම අත්‍යවශ්‍ය කාරණාවකි.   රට තුළ භාවිතයට නොගත් ස්වභාවික සම්පත් අතිවිශාල ප්‍රමාණයක් ඇත. කිතුල් රා, තල් රා, හකුරු ආදී නිෂ්පාදනවලට දෙස්විදෙස් වෙළඳපොළ තුළ විශාල ඉල්ලුමක් ඇතත් අප තවමත් එකී කර්මාන්තවලින් උපරිම ප්‍රයෝජන ලබාගන්නේ නැත. පැණි, හකුරු ආශ්‍රිත නිෂ්පාදන ප්‍රමාණවත් පරිදි සිදු නොවීමට එම කර්මාන්ත සඳහා ජාතියක් ආගමක් කුලයක් වෙන්කොට තිබීම ද එක් ප්‍රබල හේතුවකි.

ධීවර කර්මාන්තය කොන් කිරීම

ශ්‍රී ලංකාව ලෝකයේ හොඳම මත්ස්‍ය සම්පත ඇති කලාපයක පිහිටා ඇතිමුත් ධීවර කර්මාන්තයේ නියැලෙන්නේ යම් සීමිත කණ්ඩායමක් පමණි. අපි අදටත් කරවල, ටින් මාළු වැනි නිෂ්පාදන ආනයනය කරමින් සිටිමු. එසේ ම ධීවර කර්මාන්තයට අවශ්‍ය කරන යන්ත්‍රෝපකරණ ද විදේශයන්ගෙන් ආනයනය කරමින් සිටිමු. කොතැන හෝ වැරදී ඇත. එහෙත් වැරදුණු තැන නිවැරදි කරගැනීමට අප තවම ප්‍රමාද නැත.

හැකි ඉක්මනින් ස්වභාවික සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගත හැකි ක්‍රමවේදයකට අනුගත විය යුතු ය.  මීට දශක හතරකට පහකට පෙර ඉතා දිළිඳු රටක් ව පැවැති නයිජීරියාව, නවීන විද්‍යාත්මක තාක්ෂණය හේතුකොට ගෙන රට තුළ ඛනිජ තෙල් සොයාගැනීමත් සමඟ මේ වන විට ඛනිජ තෙල් අපනයනය කරන රටක් බවට පත් ව ඇත.

මධ්‍යධරණි මුහුදේ  කිසිඳු භවබෝගයක් වගා කළ නොහැකි වන පරිදි  සම්පූර්ණයෙන් ම ගල් තට්ටුවකින් වැසී පැවති  ‘මෝල්ටා’ නම් දූපත, දශක හතරකට පමණ පෙර එම ගල් තට්ටුව ඉවත්කොට සරුසාර පොළොවක් ඇති කිරීම තුළ අද වන විට එළවළු නිෂ්පාදනයකොට අපනයනය කරන සශ්‍රීක භූමියක් පවට පත් ව ඇත.

නවීන තාක්ෂණය හා විද්‍යාත්මක දැනුම පැවතිය ද පර්යේෂණ සිදු කෙරුණ ද ඒ හරහා ස්වභාවික සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගැනීමේ ක්‍රමවේදයකට අප තවම තල්ලු වී නැත. එසේ නම් එම තත්ත්වය උදා කරගැනීමෙහිලා මෙම කොවිඩ් රැල්ල වෙස්වලාගත් ආශිර්වාදයක් ලෙස සැලකිය යුතු ය.

පවත්නා වසංගත තත්ත්වය හැරවුමක ඇරඹුක් කරගැනීමෙහිලා පවත්නා බාධක නිවැරදිව හඳුනාගැනීම මෙහීදී ඉතාමත් වැදගත් කාරණාවකි.   වත්මන් රජයට ජනතාව ලබාදී ඇත්තේ අතිවිශාල ජනවරමකි. එහි නිසි ප්‍රයෝජන ලබාගනිමින් රටත් ආර්ථිකයත් නිවැරදි දිශාවකට ගෙන යෑමෙහිලා වන ප්‍රබල වගකීම රජය සතු ය. එසේ ම අපේ සංස්කෘතිය, සභ්‍යත්වය, කලාව සාහිත්‍ය, භාෂාව මෙන් ම අනන්‍යතාව රැකගනිමින් ගෝලීයකරණ ප්‍රවාහයෙන් රට මුදවාගත යුතු ය.

උද්ධමනය කළමනාකරණය කර ගැනීම

මෙවන් අවස්ථාවක ආනයනික භාණ්ඩ පාලනය කිරීම තුළින් දේශීය වශයෙන් භාණ්ඩ හිඟවීමේ අර්බුදයක් ද නිෂ්පාදනය අඩුවීම තුළින් උද්ධමනකාරී තත්ත්වයක් රට තුළ ඇතිවිය හැකිමුත් එම තත්ත්වය නිසි ලෙස කළමනාකරණය කරගැනීමේ හැකියාව ද අප සතු ය.

දේශීය උද්ධමනය හා ලෝක උද්ධමනය ලෙස උද්ධමනය මූලික වශයෙන් කොටස් දෙකකි. දේශිය උද්ධමනය පාලනය කරගැනීමෙහිලා වහාම ක්‍රියාත්මක වන පරිදි දේශීය නිෂ්පාදන ඉහළ නැංවිය යුතු ය. අත්‍යවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනය වැඩි කරගත යුතු ය. අන්තර් කර්මාන්ත සම්බන්ධතාවයේ පෙර පසු වාසි අත්පත් කරගත යුතු ය.

මෙහිදී ගෘහ කළමනාකරණය යන සංකල්පය ද ඉතා වැදගත් ය. ගෘහ කළමනාකරණය නිවැරදි අන්දමින් සිදු නොවන විට එය රටේ සමස්ත ආර්ථික ක්‍රියාවලියට අහිතර අයුරින් බලපානු ලබයි.

ලෝකයේ ඒක පුද්ගලික ජංගම දුරකථන ප්‍රමාණය වැඩිම රට බවට පත්වීම තුළ ම අපේ පරිභෝජන රටාවේ ඇති ව්‍යාකූලත්වය පැහැදිලි ව විද්‍යාමාන වේ. එබැවින් අප හැම විටම කටයුතු කළ යුත්තේ දේශීය පරිභෝජන රටාව, දේශීය ආර්ථිකය කළමනාකරණය කරගැනීම තුළ උද්ධමනය මැඩලීම සම්බන්ධයෙනි. ඉන් පසුව අපේ ආනයන ආර්ථිකයේ ඇතිවන උද්ධමනය පාලනය කරගැනීම සම්බන්ධයෙන් කටයුතු යෙදිය යුතු ය. ඒ සඳහා රාජ්‍ය වියදම් පාලනය කළ යුතු ය  කළමනාකරණය කළ යුතු ය.

රාජ්‍ය වියදම් හැරවීමේ ප්‍රතිපත්ති

රාජ්‍ය වියදම් හැරවීමේ ප්‍රතිපත්තිවලට එළැඹිය යුතු ය. මෙරටට ගැලපෙන විකල්ප ආර්ථික සංවර්ධන ප්‍රතිපත්තියක අවශ්‍යතාව මේ වන විට පැහැදිලි ලෙස ම පැන නැඟී තිබේ. එහිදී අපට අවැසි වන්නේ තුලිත ආර්ථික ප්‍රවේශයකි. තුලිත ආර්ථික සංවර්ධන මාදිලිය වනාහි වර්තමානයේ බොහෝ රටවල සංවර්ධනය පිළිබඳ කතාබහේදී සුප්‍රසිද්ධ ආර්ථික විද්‍යාඥයන් විසින් හුවා දක්වන උපාය මාර්ගයකි.

මේ කියන්නාවූ තුලිත ආර්ථික ප්‍රවේශයකට අවශ්‍ය කරන මූලික මූලධර්ම තුනකි. එනම්,

  1. අභ්‍යන්තර තුලනය
  2. බාහිර තුලනය්‍
  3. පාරිසරික තුලනය යි.

රටක අභ්‍යන්තර තුලනය ඇරඹිය යුත්තේ එහි කුඩාම සමාජ ඒකකය වන කුම්භය තුළිනි. කුටුම්භයේ ආදායම කුටුම්භයේ වියදමට සමාන කරගැනීමෙන් ආරම්භ කරන්නාවූ තුලනය එම ප්‍රදේශයට, දිස්ත්‍රික්කයට, පළාතට ගෙනගොස් රට පුරා ප්‍රසාරණය කළ යුතු ය. රට තුළ අයවැය තුලන ආර්ථික ප්‍රතිපත්තිවලට යොමු විය යුතු ය.  කුටුම්බය තුලනය කරගත් සේ ම රටේ ආදායම රටේ වියදමට සමාන කරගැනීමේ ක්‍රමවේදයක් කරා එළැඹිය යුතු ය. එහිදී අනවශ්‍ය වියදම් සියල්ල කපා හැරීමත් දේශීය ආදායම වැඩි කිරීමත් තුළින් අවශ්‍ය ප්‍රතිපත්ති කඩිනම්ව ක්‍රියාත්මක කළ යුතු ය.

ඉන් අනතුරුව රටින් පරිබාහිර තුලනයක් ඇති කරගත යුතු ය. රටක් ලෙස ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කිරීමේදී ආනයන අපනයන ක්‍රියාවලියකට අප මැදිව සිටින අතර එම ක්‍රියාවලිය තුළ අපගේ ගෙවුම්ශේෂ ලේඛනයේ නිරන්තරයෙන් පවතින්නේ හිඟයකි. මෙම ගෙවුම්ශේෂ හිඟය පියවාගැනීම සඳහා ආර්ථික ප්‍රතිපත්ති මෙහෙයවිය යුතුයි.

ඉන් අනතුරුව අවධානය යොමු විය යුත්තේ පාරිසරික තුලනය වෙත ය. පාරිසරික තුලනය යනු ගෝලීය වශයෙන් අත්පත් කරගත යුත්තකි. ලෝකයම සංවර්ධනය පසුපස හඹා යෑමේදී සිය සංවර්ධන අපේක්ෂාවන් ඉෂ්ට කරගැනීම  සඳහා දරන මානව ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විටත් සිදු ව ඇති පරිසර හානිය සුළුපටු නොවේ. ඕසෝන් ස්ථරය සිදුරු වීම, ගෝලීය උණුසුම වැඩිවීම, ග්ලැසියර් දියවී මුහුදු ජල මට්ටම ඉහළ යෑම වැනි සියල්ලටම හේතු වී ඇත්තේ එකී මානව ක්‍රියාකාරකම් හා පාරිසරික අසමතුලිතතාවය යි. එබැවින් පාරිසරික අසමතුලිතතාවය සමනය කරගැනීම සඳහා අප සියලු දෙනා ගෝලීය ජන ප්‍රවාහයක් ලෙස කඩිනම් ව ඉදිරිපත් විය යුතු ය.

මෙකී කරුණු ත්‍රිත්ත්වය ම සපුරාගැනීම තුළ ගෝලීය කොවිඩ් වසංගතය වෙස්වලාගත් ආශීර්වාදයක් බවට පත්කර ගැනීමේ හැකියාව පවතී. මෙය හැරවුම ක ඇරඹුමක් කරගැනීමෙහිලා දේශපාලන නායකත්වය, රාජ්‍ය යාන්ත්‍රණය, පෞද්ගලික අංශය ඇතුළු සමස්ත පුරවැසියන් මත පැටවෙන්නේ ප්‍රබල වගකීමකි.

ආචාර්ය අජිත් දිසානායකආර්ථික විද්‍යා අධ්‍යනාංශය කැළණිය විශ්වවිද්‍යාලය 
සටහන – කාංචනා සිරිවර්ධන

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435