කෆාලා කම්කරු නීති ක්‍රමයට වෙනස් වීමට කටාර් රාජ්‍යය තීරණය කරයි

2022 පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය දරන කටාර් රාජ්‍යය මතභේදාත්මක කෆාලා අනුග්‍රාහක ක්‍රමය වෙනස් කිරීම සඳහා නව නීති ගෙන එමට පොරොන්දු වී තිබේ. එමගින් 2015 මුල වන විට සංක්‍රමණික කම්කරුවන්ගේ තත්වය වැඩි දියුණු වනු ඇත.

විදේශ ශ්‍රමිකයන්ගේ ගමන් බිමන් යාම සීමා කරන වර්තමාන නීති දැනට සාකච්ඡා වෙමින් තිබෙන නීති මගින් වෙනස් වනු ඇති බව කම්කරු හා සමාජ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය පැවසී ය. “නව නීති පිළිබඳ දැනුම් දීම ලබන වසරේ මුලදී නිකුත් කිරීමට අපි බලාපොරොත්තු වෙමු,” යි නිවේදනයේ සඳහන් වේ.

2022 පාපන්දු ලෝක කුසලානයට අවශ්‍ය යටිතල පහසුකම් සකසමින් සිටින කටාර් දේශයේ දැවැන්ත විදේශ ශ්‍රම බලකායට සලකන ආකාරය දැන් ජාත්‍යන්තර අවධානයට ලක් වී තිබේ. විදේශ ශ්‍රමිකයන් රට හැර යාම හෝ රැකියාව වෙනස් කිරීම වළක්වන කෆාලා ක්‍රමය අහෝසි කරන ලෙස මානව හිමිකම් ක්‍රියාකාරිකයන් හා පාපන්දු ක්‍රීඩකයන්ගේ ලෝක සංගමය (FIFPro) ඉල්ලා සිටියේ එය නූතන වහල් මෙහෙයකට සමාන බව පවසමිනි. වත්මන් අනුග්‍රාහකත්ව ක්‍රමය වෙනස් කර රැකියා කොන්ත්‍රාත් ක්‍රමයක් ආරම්භ කරන බව තෙල්වලින් පොහොසත් එමිරේට් රාජ්‍යය පවසයි.

නව ක්‍රමය යටතේ විදේශ ශ්‍රමිකයන්ට රටින් පිට වී යාම සඳහා අවශ්‍ය පිටවීමේ බලපත්‍රය තුන් දින සමා කාලයකින් පසු ඔවුන්ට ඉබේ ම අවසර ලැබෙන ක්‍රමයකින් ප්‍රතිස්ථාපනය වනු ඇත.

විදේශ ශ්‍රමිකයන්ට සිය ගිවිසුම අවසන් වූ පසු වෙනත් රැකියාවලට යාමට ද අවස්ථාව ලැබෙනු ඇත. ඒ සඳහා ඔවුන්ට දැන් අවශ්‍ය වන සහතිකය අවශ්‍ය වන්නේ නැත. දැන් අවශ්‍ය සහතිකය මගින් කලින් සේවායෝජකයා මෙම රැකියා වෙනසට අකැමැති නැති බව පැවසිය යුතු ය.

විවෘත අවසානයක් සහිත ගිවිසුම් මත රැකියා කරන අයට වසර පහකින් පසු රැකියාව වෙනස් කළ හැකි ය. ශ්‍රමිකයන්ගේ ගමන් බලපත්‍ර ආපසු නො දී තබා ගන්නා සේවා යෝජකයන්ට එරෙහිව දැඩි දඬුවම් පනවනු ඇත. “කටාර්හි ජීවත් වෙමින් රැකියා කරන අයගේ තත්වය උසස් කිරීම සඳහා අපි අරුත්බර හා කල් පවත්නා තීරණ ගැනීමට අපේක්ෂා කරන්නෙමු,” යි කම්කරු අමාත්‍යාංශය පසුගිය ඉරිදා පැවසී ය.

බඳවා ගැනීමේ නියෝජිතායතනවල නීති විරෝධී හා සදාචාර විරෝධී බඳවා ගැනීම් නැවැත්වීම සඳහා කටාර් රජය එරටට ශ්‍රමිකයන් එවන රටවල ආණ්ඩු සමග සාකච්ඡා ආරම්භ කර තිබේ.

පොරොන්දු වූ වැටුපට වඩා අඩු වැටුප් ගෙවීම පිළිබඳ පැමිණිලි නිරන්තරව ම සිදු වේ. මේ බොහෝ දෙනෙකු පැමිණෙන්නේ තම රටේ රැකියා නියෝජිතායතනවලට ගෙවිය යුතු මුදල් වෙනුවෙන් ණය වෙමිනි.

වැරදි ක්‍රියා සම්බන්ධයෙන් ඇති චෝදනා තිබියදී ම ලෝක පාපන්දු සංගමය පසුගියදා කටාර් රාජ්‍යයේ සත්කාරකත්වය වෙනුවෙන් නැවත ඡන්දයක් පැවැත්වීම ප්‍රතික්ෂේප කළේ ය.

ධනාත්මක විවේචනයට අවස්ථා

තරගාවලියේ සත්කාරකත්වය දැරීමට තමන්ට ලැබෙන අවස්ථාව පිළිබඳ කිසිදු සැකයක් නො තිබුණු බව කටාර් රාජ්‍යය පවසයි. විදේශ සංවිධාන විසින් තම කටයුතු පිළිබ සොයා බැලීම උණුසුම් අන්දමින් පිළි ගන්නා බව කටාර් කම්කරු අමාත්‍යාංශය පසුගියදා පැවසී ය.

“ධනාත්මක විවේචන හා ප්‍රතිචාර අපි දිගටම සතුටින් පිළි ගන්නෙමු. එසේ ම, අප විසින් කර තිබෙන වෙනස්කම් පිළිබඳ ධනාත්මකව සලකා බැලීම ද අපේක්ෂා කරමු,” යි නිවේදනයේ සඳහන් වේ.

සුවිශේෂ කාරණා සම්බන්ධයෙන් සොයා බලා වහා පියවර ගැනීම පිණිස ඒවා පිළිබඳ තොරතුරු දැනුම් දෙන්නැයි අමාත්‍යාංශය ජාත්‍යන්තර සංවිධානවලින් ඉල්ලා සිටියේ ය.

පාපන්දු ලෝක කුසලානය සඳහා අවශ්‍ය ඉදිකිරීම්වල නියැලී සිටින සංක්‍රමණික කම්කරුවන් සූරාකෑමට ලක් වීම අවසන් කිරීම සඳහා ඩෝහා ආණ්ඩුව ගෙන තිබෙන පියවර කිසි සේත් ම ප්‍රමාණවත් නැති බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය මෑතදී නිවේදනය කළේ ය.

“බලහත්කාර ශ්‍රමය හා සූරාකෑම මත පදනම් වූ යටිතල පහසුකම් මත අප පාපන්දු ක්‍රීඩා නො කරන බව තහවුරු කිරීම සඳහා කඩිනම් පියවර අවශ්‍ය ය,” යි ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ ගෝලීය තේමාත්මක කාරණා සම්බන්ධ නියෝජ්‍ය අධ්‍යක්ෂ ෂෙරිෆ් එල්සයෙඩ් අලි පැවසී ය.

මැයිවලදී වූ පොරොන්දු කෙසේ වෙතත්, කටාර් රාජ්‍යය ගෙන තිබෙන පියවර ප්‍රමාණවත් නැති බව ඔහුගේ අදහසයි. “මාස හයකට පසුව පවා ඉටු කර තිබෙන්නේ මැයිවලදී නිවේදනය කරන ලද සීමිත පියවරවලින් කොටසක් පමණි?” යි ඔහු පවසයි.

කටාර්හි කම්කරු නීතිවල සීමා හේතුවෙන් තනතුරු භේදයකින් තොරව සියලු විදේශ ශ්‍රමිකයෝ පීඩාවට පත් වෙති. ප්‍රංශ පාපන්දු ක්‍රීඩකයකු වන සහීර් බෙලූනිස්ට වසරක කාලයක් කටාර් දේශයෙන් පිට වී යාමට නො හැකි වූයේ ඔහු ක්‍රීඩා කළ අල් ජයිෂ් පාපන්දු සමාජය වැටුප් අර්බුදයක් නිසා ඔහුට පිට වී යාමේ අවසර පත්‍රය නිකුත නො කිරීම හේතුවෙනි.

කටාර් දේශයෙන් පිට වී යාමට පෙර සම්මුතියකට පැමිණි බවට ප්‍රකාශ පත්‍රයකට අත්සන් කිරීමට බෙලූනිස්ට සිදු විය. ඔහු ප්‍රංශයේදී කටාර් පාපන්දු සමාජයට එරෙහිව නඩු පැවරීමට අදහස් කරන බව ඔහුගේ නීතිඥයා ඊට පෙර පැවසී ය. 2022දී ලෝක පාපන්දු කුසලානය කටාර් දේශයේ පැවැත්වීමට පෙර ඒ සඳහා වූ ඉදිකිරීම්වල නියැලී සිටින විදේශ ශ්‍රමිකයන් 4000ක් පමණ අනතුරුවලින් මිය යනු ඇතැයි ජාත්‍යන්තර වෘත්තීය සමිති සම්මේලනය ජුනි මාසයේදී පැවසී ය.  කටාර්හි වේගවත් ආර්ථික සංවර්ධනය නිසා විදේශ ශ්‍රමිකයන් දහසය ලක්ෂයකට තම රටේදී ලැබිය හැකි ආදායමට වඩා ආදායමක් උපයා ගනිමින් වඩා හොඳින් ජීවත් වීමේ අවස්ථාව ලැබී ඇති බව කටාර් කම්කරු අමාත්‍යාංශය පවසයි.

“අපේ රට හදන්නට උදව් කරන ජනයාට හොඳින් වැටුප් ගෙවිය යුතු බව අපි විශ්වාස කරමු. එසේම, ඔවුන් සූරාකෑමෙන් ආරක්ෂා විය යුතු ය. අපි කම්කරු නීති හා භාවිතාවන් සංශෝධනය කරමින් සිටින්නේ ඒ නිසා ය.”

මූලාශ්‍රය: Arab News

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435