කම්කරු නිලධාරීන් ලොතරැයි අලෙවිකරුවන් වෙයි

සේවක අර්ථ සාධක අරමුදලේ ප්‍රධානියා ඇතුළු කාර්ය මණ්ඩලය ස්වකීය දෛනික රාජකාරි කටයුතු අතහැර මේ දිනවල ශ්‍රම වාසනා ලොතරැයි පත් අලෙවිකරමින් සිටින බව වාර්තාවේ.

ශ්‍රම වාසනා ලොතරැයිය අලෙවි කරන ලෙස ඉහළින් නියෝගයක් සමග විශාල ලොතරැයි බණ්ඩලයත් කම්කරු දෙපාර්තමේන්තුවේ මෙම අංශයට ලැබී ඇති බවත්,කොමසාරිස්වරයා තම කාර්යාලයේ සේවක සේවිකාවන්ට බලහත්කාරයෙන් මෙම ලොතරැයිපත් අලෙවි කරමින් සිටින බවත් සඳහන්ය. මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී රාජ්‍ය සේවා කම්කරු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අයි.සී ගමගේ මහතා කියා සිටියේ සහකාර කොමසාරිස්වරයෙකුට ලොතරැයිපත් 5000-6000 අතර ප්‍රමාණයක් ලැබී ඇති බවත්, ඒවා අලෙවි කරවන ලෙස කම්කරු නිලධාරීන්ට බලපෑම් කරවන බවත්ය.

එහෙත් කම්කරු නිලධාරීන් වෘත්තීය සමිතියක් ලෙස මෙම ලොතරැයිපත් අලෙවි නොකිරීමට තීරණයක් ගෙන ඇති බව හා එම තීරණය දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට මෙන්ම කම්කරු කොමසාරිස් ජනරාල්වරයාටද දැනුම්දී ඇති බව ගමගේ මහතා කියා සිටියේය. එසේම මෙම ලොතරැයි පත් අලෙවිකිරීමෙන් එක් ටිකට් පතකට රු.3.50 ක කොමිස් මුදලක් ලැබෙන බැවින් මෙන්ම ‍දෛනික රාජකාරි පැහැර හරිමින් කටයුතු කරන බැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විගණනයක් කළ යුතු බවද ගමගේ මහතා සඳහන් කළේය.

අනෙක් අතට මෙම අංශයේ කටයුතු කරන පිරිස් සේවක අර්ථ සාධක අරමුදල් සම්බන්ධයෙන් ක්‍රියා කරන බැවින් හාම්පුතුන්ට මෙම ලොතරැයි පත් අලෙවි කිරීමට උත්සාහ දැරීමෙන් රාජකාරි නිසි ලෙස කරගෙන යා නොහැකි පරිදි පක්ෂපාතී බවක් ඇති වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ජගත් කම්කරු සංවිධානයේ අංක 81 දරන කම්කරු සුපරීක්ෂණ සම්මුතිය Labor Inspection Convention යටතේ කම්කරු නිලධාරීන් ස්වාධීන රාජකාරි ව්‍යුහයක ස්ථාපිත කලයුතු අතර ඔවුන්ගේ එදිනෙදා කටයුතු ස්වාධීනව කරගෙන යාමේ පරිසරයක් නිර්මාණය කිරීම අනිවාර්ය වේ. ලෝක කම්කරු සංවිධාන ප්‍රමිතීන් හා මෙම ක්රියාකලාපය අනුගත නොවන අතර මෙය සැලකෙන්නේ දුෂිත හෝ දුෂණයට නිදහසේ ඉඩ සලසන භාවිතාවක් ලෙසයි.

අර්ධ අධිකරණමය ස්වරුපයේ රාජකාරි පවා සිදුකරන කම්කරු දෙපාර්තමේන්තු කාර්යමණ්ඩලය කොමිස් ලබන ලොතරැයි අලෙවිකරුවන් බවට පත්කිරීම ඔවුන්ගේ රාජකාරි ස්වාධීනත්වයට බරපතල බාධාවක් වන අතර අපක්ෂපාතීව රාජකාරි කිරීමේ හැකියාව අහිමිවීයයි. මෙම ලොතරැයි පත් මිටි ගණනින් හාම්පුතුන්ට අලෙවිකිරීම සිදුකෙරෙමින් පවතින බවද දැනගන්නට ඇත.

මෙ පිළිබඳව වැඩබිමට අදහස් දැක්වූ සමහරක් සමිති නායකයින් ප්‍රකාශ කලේ හාම්පුතුන්ගෙන් කොමිස් ලබන ලොතරැයි අලෙවී කරුවන් බවට කම්කරු දෙපාර්තමේන්තු නිලධාරින් පත්වීම නිසා ඉදිරියේදී වැඩකරන ජනතාව දැඩි ලෙස අසරණ වන තත්ත්වයකට මුහුනපෑමේ  අවධානමක් මතුව ඇති බවයි. මේ පිළිබඳව අවධානය යොමු කොට ඇති ප්‍රමුඛ පෙලේ ගෝලීය වෘත්තීය සමිතියක් කම්කරු නිලධාරීන් කොමිස් ලබන ලොතරැයි අලෙවි කරුවන් බවට පත් කිරීමේ ක්‍රියාවලියට එරහිව ලෝක කම්කරු සංවිධානයට පැමිණිලිකිරීමට කටයුතු යොදමින් ඇතිබවත් දන ගන්නට ඇත.

වැඩබිම 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435