එදා මැයි රැළි

ශ්‍රී ලංකාවේ ඒ ඒ දේශපාලන පක්‍ෂ විසින් මැයි දින පෙළපාලි පවත්වනු ලැබූ ආකාරය ගැනත්, ඒවායෙහි වූ විශේෂ අවස්ථාවන් පිළිබඳවත් ප‍්‍රවීණ මාධ්‍යවේදී එස්. පියසේන මහතා සිය මතකය අවදි කළේ මෙසේය.

මා මුලින්ම මැයි දිනයකට සහභාගී වූයේ ආනන්ද මහා විද්‍යාලයේ ශිෂ්‍යයකුව සිටියදී 1939 වසරේදී ය. ලංකා සමසමාජ පක්‍ෂයේ මැයි දිනය එදා පවත්වන ලද්දේ ‘ප‍්‍රයිස් පාක්’ පිට්ටනියේදී ය. සමසමාජ පක්‍ෂය් සභාපති ආචාර්ය කොල්වින් ආර්.ද සිල්වා මහතා මුලසුන දැරුවේය. එවකට රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ සම සමාජ මන්ත‍්‍රීවරුන් වූ පිලිප් ගුණවර්ධන සහ ඇන්.ඇම්. පෙරේරා යන මහත්වරුන් ද ලෙස්ලි ගුණවර්ධන සහ තවත් සමසමාජ නායකයෝද එහි කථිකයන් අතර වූහ.

ප‍්‍රධාන ආරාධිත අමුත්තා වූයේ කේරළයේ වාමාංශික නායකයෙකු වූ ඒ.කේ. ගෝපාලන් මහතාය. ඒ මහතා පසුකලෙක ඉන්දියාවේ වාමාංශික කොමියුනිස්ට් පක්‍ෂයේ නායකයෙකු වී දීර්ඝ කාලයක් ඉන්දියාවේ පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී ධුරයක්ද හොබවා කලක් එරට විපක්‍ෂ නායක පදවියද දැරුවේය.

රැස්වීම අමතා කථා කළ එකම කාන්තාවකි. ඇගේ නම මල්ලිකා කුලසේකරය. ඇය බොරළුගොඩ ගුණවර්ධන පවුලේ සාමාජිකාවකි. අයි.ඇම්. ඊබ‍්‍රහිම් මහතා එකම දෙමළ කථිකයා වීය. රැස්වීමේ සියලූම සටන්පාඨ අධිරාජ්‍ය විරෝධී මත ප‍්‍රකාශ ලෙස පෙනෙන්නට තිබුණි.

1940 දී මා මැයි දින පෙළපාලියට සහභාගී වූයේ කල්කටාවේදීය. ඒ දැවැන්ත පෙළපාළිය සහ රැුලිය අධිරාජ්‍ය විරෝධී පමණක් නොව යුද විරෝධී සටන් පාඨවලින්ද ප‍්‍රභාවත් වූවකි. ඒ රැුලිය පැවැත්වෙන විට දෙවැනි ලෝක මහා යුද්ධය ඇරැුඹී ගතව තිබුණේ මාස හයක් පමණි.

1940 පටන් 1942 දක්වා මැයි දින රැුලි සහ පෙළපාලි යටත් විජිතයන්හී තහනම් කරන ලදී.

කෙසේ වුවද 1941 ජූනි මාසයේදී සෝවියට් දේශය මිත‍්‍ර පාක්‍ෂික රටක් වශයෙන් වෙනස් වීය. ලොව පුරා කොමියුනිස්්ට් පක්‍ෂ ෆැසිස්ට්වාදයට විරුද්ධව කෙරෙන යුද්ධයට සහාය දීමට තීන්දු කිරීමත් සමඟ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ දැඩි කොමියුනිස්ට් විරෝධය තුනී වී ගියේය. ඉන්දියාවේ කොමියුනිස්ට් පක්‍ෂයට පනවා තිබූ තහනම 1942දී ඉවත් කරන ලදී. ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය අවුරුදු තිහකට පසු අතිවිශාල මැයි දින රැුලියක් බොම්බායේදී පවත්වන ලදී. එතෙක් රහසිගත කණ්ඩායමක් වශයෙන් ක‍්‍රියාකළ ලංකාවේ කොමියුනිස්ට් වාදීහූ ද ප‍්‍රසිද්ධියේම කොමියුනිස්ට් පක්‍ෂය පිිහිටුවා ගත්හ. එතැන් පටන් 1946 සමසමාජ නායකයන් බන්ධනාගාරයෙන් නිදහස් වී එනතුරු සාර්ථකව මැයි දින රැුලි පවත්වන ලද්දේ කොමියුනිස්ට් පක්‍ෂයේ සහ ඊට අනුබද්ධ වෘත්තීය සමිතිවල සහභාගීත්වයෙනි.

සමසමාජ පක්‍ෂ නායකයන් නිදහස ලබා පැමිණි පසු මැයි දිනයේ ආකර්ෂණයද සමසමාජ පක්‍ෂය වෙත ඇදී ගියේ ය.

1947 මැයි දිනය සුවිශේෂී විය. කම්කරු ව්‍යාපාරය බලවත් වී තිබුණි. විවිධ පක්‍ෂවලින් මැයි දින රැුලි පැවැත්විණි. වෘත්තීය සමිතිද ස්වාධීනව මැයි රැුලි සංවිධානය කළේය. ඒ අතර විශේෂ වූයේ රජයේ ලිපිකරු සේවා සංගමය සහ වෙළෙඳ සේවක සංගමය සංවිධානය කළ මැයි දින රැුලි කිහිපයයි. නිදහසෙන් හා පාර්ලිමේන්තු මැතිවරණ ක‍්‍රමය ඇරඹීමත් සමඟ මැයි දින රැුලි වඩා ප‍්‍රාණවත් වූයේ වාමාංශික දේශපාලන පක්‍ෂවලට සැලකිය යුතු පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවක් ලැබී තිබීම නිසාය.

අවාසනාවකට මෙන් එක්සත් මැයි දින රැුලි පැවැත්වුණේ නැත.

ලංකා මැයි දින ඉතිහාසයේ උත්කර්ෂවත්ම මැයි දින රැුලිය පැවැත්වුණේ 1956 දී ය. අපේ‍්‍රල් මාසයේ 15 වැනිදා බලයට  පත් බණ්ඩාරනායක රජය මැයි දිනය රජයේ හා වෙළෙඳ සේවයේ නිවාඩු දිනයක් වශයෙන් ප‍්‍රකාශයට  පත් කළේය. කොමියුනිස්ට් පාලනයක් නැති රටවල් අතුරින් මැයි දිනය නිවාඩු දිනයක් කළ රටවල් අතළොස්සට ලංකාවද අයත් විය. අදත් ඉන්දියාවේ මැයි දිනය මධ්‍යම රජයේ නිවාඩු දිනයක් නොවේ. එහෙත් ඇතැම් ප‍්‍රාන්තවල මැයි දිනය නිවාඩු දිනයකි. කේරල, බටහිර බෙංගාල හා ආන්ද්‍ර යන ප‍්‍රාන්ත ඒ අතරින් මුල් තැන ගනියි.

1956 මැයි පළවැනිදා විශාල මැයි දින රැුලිය පැවැත්වුණේ ගෝල්ෆේස් පිටියේදීය. එය සංවිධානය කරනු ලැබුවේ ලංකා සමසමාජ පක්‍ෂය විසිනි. 1956 බණ්ඩාරනායක රජය බලයට ගෙන ඒමට වාමාංශික පක්‍ෂ කැපවීමෙන් ක‍්‍රියාකළ බව නොරහසකි. එහෙත් රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තිය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ වාමාංශික පක්‍ෂ අතර තිබුණේ පරස්පර ප‍්‍රතිපත්තීන් ය. ශ්‍රී ලනිපය, එජාපයේ භාෂා ප‍්‍රතිපත්තිය සමඟ එකඟ වෙමින් සිංහල පමණක් රාජ්‍ය භාෂාව විය යුතු යැයි ප‍්‍රකාශ කර තිබුණි. සමසමාජ හා කොමියුනිස්ට් පක්‍ෂ අනුගමනය කළේ සිංහල හා දෙමළ භාෂාවලට රාජ්‍ය භාෂා වශයෙන්  සමතැන් ලැබිය යුතු බවය.

දෛවයේ පුදුම සරදමකින් මෙන් 1956 මැයි පෙලපාලියේදී ප‍්‍රධාන සටන් පාඨ පැනනැංගේ බණ්ඩාරනායක රජයට විරුද්ධවය.
‘බණ්ඩා එරිලා – භාෂා මඬේ’ සහ ‘භාෂා දෙකක් එකම රටක්- එකම බසක් රටවල් දෙකක්’ වැනි සටන් පාඨ පෙළපාලියේ ගිගුම් දුනි.
1970 දශකය වන විට සෑම දේශපාලන පක්‍ෂයක්ම පාහේ මැයි දින පෙළපාළි සහ රැුළි පැවැත්වීය. එජාපය වෘත්තීය සමිති ව්‍යාපාරයට එළැඹුණේ ඒ යුගයේදී ය. එම වෘත්තීය සමිති ව්‍යාපාරය සෑම වසරකම මැයි දින රැුලියක් පවත්වන්නට පටන් ගත්තේය.

1971 වන විට රටේ දේශපාලන වාතාවරණය සම්පූර්ණයෙන්ම වෙනස් වීය. 1971 ජනතා විමුක්ති පෙරමුණේ කැරැුල්ල සහ ඉන් පසු ඇති වූ ව්‍යාකූල තත්ත්වය ඉතිහාසයට එක්වී හමාරය.

1977 බලයට පත් එජාප රජය ඊට පෙර රජය මගින් බන්ධනාගාර දඬුවම් පනවා තිබූ ජවිපෙ තහනම ඉවත් කොට බන්ධනාගාරගත ජේ.වී.පී. නායකයන්ට නිදහස ලබා දුන්නේය. එතැන් පටන් ජාතික දේශපාලන ප‍්‍රවාහයට පිවිසි ජවිපෙ මැයි දිනයේදී ද කැපී පෙනෙන අන්දමින් කරළියට ආවේය. ඔවුන් දැවැන්ත මැයි දින රැුලි පැවැත්වීය.

1977න් පසු එජාපයේ මැයි දින රැුලිද රාජ්‍ය අනුග‍්‍රහයත් සමඟ අති උත්කර්ෂවත් විය. අවසානයේදී 1993 මැයි දිනය ඉතිහාසයේ ශෝකජනක දිනයක් බවට පත්වූයේ රටේ ජනාධිපතිවරයා මැයි දිනයේදී ඝාතනයට ලක් වීමෙනි.

ලිපිය අවසන් කිරීමට මත්තෙන් විනෝදජනක සටන්පාඨ දෙක තුනක් සඳහන් කිරීම වටී.

1977 වන විට එදා පැවති රජයේ දැඩි ආර්ථික ප‍්‍රතිපත්ති නිසා මිරිස්, සීනි වැනි බොහෝ දේ ලබා ගැනීම දුෂ්කර විය. 1977 එජාප මැයි රැුලියේ සටන් පාඨයක් වූයේ මෙයයි.

‘මිරිස් නැතුව හොදි කන්නම්
සීනි නැතුව තේ බොන්නම්
අගමැතිනිය කියනවා නම්
පිදුරු වුණත් අපි කන්නම්’

1980 දශකය වන විට පේ‍්‍රමදාස යුවළ සහ තවත් ඔවුන්ට සම්බන්ධ පිරිස් ගැන බෙහෝ දෙනාගේ අවධානය යොමු වී තිබුණි. 1980 දශකයේ පැවති මැයි රැුලියක දී සමසමාජ පක්‍ෂයේ මැයි දින රැලියක සටන් පාඨයක් වූයේ පේ‍්‍රමදාස අගමැතිවරයා ඔවුන්ට සම්බන්ධ පිරිස් සමච්චලයට ලක් කිරීමයි.

රෝසි සේනානායක මැතිණිය රූපවාහිනී දැන්වීම්වල පෙනී සිටියාය. ඉන් එක දැන්වීමක් වූයේ ‘පැනඩෝල්’ දැන්වීමය. සමසමාජ මැයි දින පෙළපාළියේ සටන් පාඨයක් වූයේ, ‘හේමට නෙට්බෝල්, පේ‍්‍රමෙට ෆුට් බෝල්, රෝසිට පැනඩෝල්, අපට පොලිඩෝල්’ යන්නය.

SLD_20150426_B002

 

 

මුලාශ්‍රය: ලංකාදීප

වැඩබිම

 

 

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435