ෆේස්බුක් හානි සඳහා වන්දි ලබා ගැනීමට සෘජු ප්‍රතිපාදන නෑ

ෆේස්බුක් කියූ පමණින් එය මේ ලොව නොදන්නා කෙනෙක් නැති තරම්ය. ඒ තරමට ෆේස්බුක් ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය වී තිබෙනා මාධ්‍යයකි. තම මිතුරුදම අලුත් කර ගැනීමටත්, කෙටිකාලයක් තුළ තම සැපදුක් බෙදාහදා ගැනීමටත් බොහෝ පිරිස් ෆේස්බුක් භාවිත කරනු ලබයි. එහෙත් ශ්‍රී ලංකාව තුළ නම් ගෙවී ගිය කාලය තුළ ෆේස්බුක් පිළිබඳ යහපත් කතා අසන්නට ලැබුණේ නැත.

එයට හේතුවූයේ ෆේස්බුක් හරහා පවුල් ආරවුල් ඇතිවීම, පාසල් දරුවන් අධ්‍යාපන කටයුතු අතපසු කරගැනීම, විවිධ වංචා දූෂණ ක්‍රියා සිදුවීම නිසාය. මෑත කාලයේදී මේ තත්ත්වයෙන් ඔබ්බට යමින් ජීවිත තුනක් අහිමිව යන තත්ත්වයට ෆේස්බුක් මාරයෙකු වී ඇත.

එහිදී එක් පාසල් ශිෂ්‍යාවක්, දෙදරු මවක් හා විවාහ වීමට සිටි තරුණියක්ද විය. මේ නිසා ෆේස්බුක් භාවිතය පිළිබඳව ‘අද’ ශ්‍රී ලංකා තරුණ නීතිඥ සංගමයේ ලේකම් ශ්‍රේෂ්ඨාධිකරණ නිතිඥ රවින්ද්‍ර මනෝජ් ගමගේ මහතා සමග කතාබහක නිරත විය.

අන්තර්ජාලය හරහා ෆේස්බුක් ජාලයට සම්බන්ධවීම සම්පූර්ණයෙන් අඩාල කිරීමට රාජ්‍ය වශයෙන් ක්‍රියාමාර්ග ගත හැකිද?

එයට දිය හැකි ඍජු පිළිතුර තමයි 100%ක්ම බැහැ කියන එක. ඊට හේතුව තමයි අද වනවිට ලෝකයේ වැඩිම ජනගහනයක් තියෙන රටක් ලෙස හඳුන්වන්නත් පුළුවන් ඔය ෆේස්බුක් වෙබ් අඩවිය.  මෙවැනි තත්ත්වයක් තුළ එක සැරේම ෆේස්බුක් වෙබ් අඩවිය තහනම් කිරීමට යම්කිසි රජයක් හෝ පරිපාලනයක් ක්‍රියාමාර්ග ගතහොත් එය බරපතළ සමාජ අර්බුදයක් බවට පත්විය හැකියි. අපි සාමාන්‍යයෙන් දන්න දෙයක් තමයි පිහියක් ගත්තම පාන් කපන්නත් පුළුවන්, බෙල්ල කපන්නත් පුළුවන් කියන එක. ඒ නිසා මෙතනදී යම්දේක හොඳ හා නරක කියන දෙක වෙන්කර ගැනීමේ ක්‍රමවේදයක් සැකසීම තමයි රාජ්‍යතන්ත්‍රය කළ යුත්තේ.

400(3)

 

ෆේස්බුක් වෙබ් අඩවිය හොඳ හා නරක වෙන්කරගෙන භාවිතයට ගන්න පුළුවන් දෙයක්ද?

ෆේස්බුක් කියන්නේ අද වනවිට ලෝකය පුරා ඉතා ශීඝ්‍රයෙන් පැතිර ගිය සමාජජාල වෙබ් අඩවියක් කියලා හඳුන්වා දිය හැකියි. හොඳ නරක කියල ගත්තම සමාජය එක පවුලක් ලෙස ගොඩනගන්න මේ ට්වීටර්, ෆේස්බුක් වගේ වෙබ් අඩවි හේතුසාධක වෙලා තියෙනවා. හොඳ ගැන එහෙම බලද්දී ලංකාව වගේම විදේශයන් තුළත් ‍ෆේස්බුක් හා ට්වීටර් හරහා සමාජ ඛේදවාචක සිදුවෙලා තියෙනවා.

මෙහිදී මා දකින ප්‍රධාන දෙයක් වන්නේ වයස අවුරුදු 18 ට අඩු දරුවන්ට ෆේස්බුක් හරහා නිදහසේ සැරිසැරීමට ඉඩ ලබාදීම තමයි බොහෝ සමාජ ඛේදවාචකයන්ට හේතුවෙලා තියෙන්නේ. ඒ නිසා අපි මෙයට යම්කිසි බ්ලොක් කිරීමක් එහෙමත් නැත්නම් අර්ධ වශයෙන් තහනම් කිරීමක් කරනවා නම් එය කළ යුත්තේ ඉලක්කගත පාර්ශ්වයක් වන ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය වයස අවුරුදු 18 ට අඩු පරිපූර්ණ මනසකින් නොවන දරුවනුයි. පාසල් දරුවෙක් ගත්තම සමාජීය අත්දැකීම් හරිම අඩුයි. පසුගිය කාලේ වුණ ඛේදවාචක බැලුවම ඒවාට ගොදුරු වෙලා තියෙන්නේ පාසල් වයසේ කුඩා දැරිවියන්.

ෆේස්බුක් වැනි සමාජ ජාල හරහා සිදුවන අපචාර වලට එරෙහිව අධිකරණ පිහිට පැතිය හැකිද?

මේක තමයි අපේ නීතියේ තිබෙන අඩුපාඩුව. මේවායෙන් වන හානි සඳහා වන්දි ලබාගැනීමේ ඍජු ප්‍රතිපාදන තවමත් ලංකාව තුළ නැහැ. පසුගිය කාලේ බිහිවෙලා තිබුණා පෞද්ගලික ආයතනයක්, ෆේස්බුක් හරහා ව්‍යාජ නම් යොදාගෙන සිටින අයව හසුකර ගැනීම සඳහා ක්‍රමවේද සකසන. මේ තියෙන ප්‍රශ්න හරහා සමාජ ජාල වෙබ් අඩවි වෙනුවෙන් වෙනමම නීති රීති හදලා අලුතෙන්ම පනතක් සැකසීමේ අවශ්‍යතාව මතුවී තිබෙනවා කියල කියන්න පුළුවන්.

ෆේස්බුක් ගිණුම් වලට ඇතළත් කරන ලද ඒවා නීතිමය සාක්ෂි ලෙස භාවිතයට ගත හැකිද?

නීතිමය සාක්ෂි ලෙස ලබාගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි එතැනදි ඇතිවන ගැටලුව තමයි පරීක්ෂණවලදී ක්‍රම කිහිපයක් හරහා තහවුරු කරගැනීමට අවශ්‍ය වීම. උදාහරණ ලෙස ඔබගේ නම භාවිත කර ව්‍යාජව ගිණුමක් සකස්කර ඔබ විදිහට ‍ෆේස්බුක් පිටුවට වෙන අයෙකුට සම්බන්ධවීමේ හැකියාවක් තිබෙනවා. එවිට නිසියාකාරව සම්බන්ධ වූයේ ඔබද කියලා තහවුරු කරගන්න වෙනවා තාක්ෂණික විශේෂඥයින් මාර්ගයෙන්. මොකද ඔවුන් විසින් අන්තර්ජාලයට සම්බන්ධ වූ පරිගණක ඇත්තේ නිවසේද වෙනයම් ස්ථානයකින්ද යන්න සොයා බැලිය යුතුයි

ෆේස්බුක් පිටුවකට ඇතුළත් කරන ඡායාරූපයක් විකෘති ලෙස භාවිත කිරීමට නීතියෙන් හැකියාවක් තිබෙනවාද?

කාටවත් එහෙම කරන්න අයිතියක් නැහැ. එහෙම කරලා තියෙනවා නම් පවතින නීතිය යටතේ, තමන්ට හෙළිදරව් කරගැනීමට හැකියාවක් තියෙනවා නම් කවුද මේක කළේ කියලා පොලීසියට ගිහින් පැමිණිලි කළ හැකියි. ඒ වගේම අන් පුද්ගලයෙකු ලෙස පෙනී සිට තමන්ගේ කීර්තිනාමයට හානිකර ලෙස යමෙකු කටයුතු කරනවා නම් ඒ පිළිබඳව පවතින නීතිරීති යටතේ දැඩි ක්‍රියාමාර්ග ගන්න, වන්දි ලබාගන්න හැකියි. එසේම යම්කිසි අපරාධමය ක්‍රියාවක් සඳහා පරිගණකය යොදාගැනීම වගේ චෝදනාවකදී නීතිමය පියවර ගැනීමේ අවස්ථාව හිමිවෙනවා.

සමාජ ජාල වෙබ් අඩවි තුළින් සිදුවන අකටයුතුකම් වළක්වාගන්න මොනවගේ දේවල්ද රටක් වශයෙන් සිදුකළ යුත්තේ?

පළමුවැනි වගකීම තියෙන්නෙ අපිට. ඒ කියන්නේ මේ ගිණුම් පවත්වාගෙන යන පුද්ගලයන්ට. මොකද මෙය යොදාගන්නෙ සමාජය අතරේ බැඳීම් හා සමාජ දැනුම ඇති කරගැනීමටයි. පළමු දේ තියෙන්නෙ භාවිත කරන්නා තමන් මෙය පරිශීලනය කරන්නෙ කුමන කාරණයකටද? හොඳටද? නරකටද කියන එක ඔහු හෝ ඇය විසින් තීරණය කළ යතුයි.

දෙවැනි කාරණය තමයි රජය හා පරිපාලන ආයතන තමන්ගෙ නීති පද්ධති නවාකාරයෙන් සකස්කරලා මේ සමාජ ජාල වෙබ් අඩවිවලින් මතුවන ප්‍රශ්නවලට මුහුණදෙන්නේ කෙසේද යන්න තෝරාගත යුතුයි. දෙමවුපියන්ට වගකීමක් තියෙනවා පාසල් දරුවෙකුට ඕනෑවට වඩා නිදහස ලබා නොදී සිටීමට. ඔවුන්ට නිදහස දෙන එක මානව හිමිකමක් නෙමෙයි. අපේ පුංචි කාලෙ අපි කොයිතරම් සමාජ නීතිරීතිවලට යටත්වෙලා විනයක් හික්මීමක් ඇතිව හැදුණද? අද දෙමවුපියන්ටත් ඒ නිසා ලොකු වගකීමක් තියෙනවා මේ ගැන.

 

නොදැනුවත්කම ෆේස්බුක් වල ප්‍රශ්න ඇතිවෙන්න ප්‍රධාන හේතුව වෙලා තියෙනවා

පරිගණක විද්‍යා පිළිබඳ ග්‍රන්ථ කර්තෘ රන්ගමිණි වීරවත්ත

“ෆේස්බුක් වගේ සමාජ ජාල සංකල්ප ගත්තම තරුණ දරුවන් කැමැතියි ඔවුන්ට සමාන රුචි අරුචිකම් දක්වන අයත් එක්ක සම්බන්ධ වෙන්න.  ඒ නිසා ෆේස්බුක් වගේ දෙයක් පාවිච්චි කරන එක ගැන දරුවන් දැනුවත් කරන එක තමයි මූලිකවම අවශ්‍ය වෙන්නෙ. මොකද තරුණ ළමයින්ට නීති දාන්න දාන්න ඔවුන් නීති කඩන්න තමයි උත්සාහ කරන්නෙ.

දෙමාපියන්ට ඕන නම් ෆේස්බුක් වගේ දේවල් බ්ලොක් කරන්න අද පහසුකම් තිබෙනවා.  ගෙදර පරිගණකයට මොනව කළත් අද වෙනකොට ජංගම දුරකථනයේ ඒ පහසුකම් ලබාදීලා තියෙනවා. ඒ නිසා මම හිතන්නෙ දරුවන් ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවිවලට යන එක වළක්වනවාට වඩා ඒවායෙන් වන අනතුරු හා සිදුවිය හැකි ප්‍රශ්න හා ගැටලු ගැන දැනුවත් කරන එකයි සිදුකළ යුත්තේ.

අද ළමයි ගොඩක් බුද්ධිමත්. ඒ නිසා දරුවන්ට හොඳින් කියාදිය යුතුයි. පාසල්වලත් තොරතුරු තාක්ෂණ විෂයේදී මේ දේවල් කියාදිය යුතුයි. දරුවන් ෆේස්බුක් යන එක නවත්වන එක කළ යුතු නැහැ. මොකද තාක්ෂණයට දස්කම් තියෙන දරුවෙකුට ඒ දැනුම වර්ධනය කරගන්න හොඳ තැනක් තමයි සමාජ ජාල වෙබ් අඩවි.

අපි නීති දැම්මම වෙන්නෙ ළමයා ප්‍රශ්නවලින් බේරීම නෙවෙයි. ඔවුන් වෙනත් ක්‍රම හරහා හරි ඔවුන්ගේ උවමනා පිරිමහගන්න උත්සාහ කරනවා.  ලංකාවේ සමාජ ජාල ආශ්‍රිතව සිදුවන අපරාධ හා අකටයුතුකම් පිළිබඳ පැමිණිලි කිරීමට තිබෙන ආයතනය වන්නේ Computer Emergency Response Team (CERT)  ආයතනය.

ලංකාවේ කාටහරි සමාජ ජාලයක  අකටයුත්තක් වෙනවා නම්, ව්‍යාජ ගිණුමක් හදලා තියෙනවා නම් ඒ ගැන දැනුම්දෙන්න තියෙන ආයතනය තමයි මේක. ඔවුන්ගේ දත්ත අනුව 2008 අවුරුද්දෙ පරිගණක අපරාධ වාර්තා වීම් අතර, ව්‍යාජ ගිණුම් කියලා දෙයක් තිබුණෙ නැහැ. නමුත් 2009, 2010 වනවිට 2400කට වඩා ව්‍යාජ ගිණුම් සම්බන්ධ පැමිණිලි ලැබී තිබුණා.

සමාජ ජාලයක් කියන එකෙත් බිල්ඩින් බ්ලොක්ස් 7 ක් තියෙනවා. පළවෙනි එක අනන්‍යතාව. පුද්ගලයෙකුට හෝ ආයතනයකට ජාලගතවීම හරහා උදවු වෙන්නේ කොහොමද කියලා මේකෙන් බලනවා. තමන්ගේ  අනන්‍යතාව අඩු කරන්න වැඩි කරන්න හෝ වෙනත් පුද්ගලයෙකු ලෙස පෙනී සිටින්න තියෙන අවස්ථාවක් තමයි සමාජ ජාලය. මේවායේ සබඳතා ඇති කරන්න, කතාබහ කරන්න වගේ දේවල්වලට වෙනමම අවස්ථා උදාකරලා තියෙනවා. ඒවා හරියට පාවිච්චි කරන්නෙ  කොහොමද කියලා දන්න අය හරි අඩුයි. ෆේස්බුක් ගැන ප්‍රශ්න ඇතිවෙන්න ප්‍රධාන හේතුව තමයි නොදැනුවත් බව.
මුලාශ්‍රය: අද පුවත්පත

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435