ජෝර්දාන සංක්‍රමණික සේවකයන් සඳහා වන මාර්ගෝපදේශ

 

ඔබ ජෝර්දානයට පැමිණීම, සේවා නියුක්ති ගිවිසුමක් මත සිදු වන්නකි.  ඔබ ඒ ගිවිසුමේ පාර්ශ්වකරුවෙකි.  එහෙයින්, ගිවිසුමේ පිටපතක් ඔබ වෙත තබා ගැනීමටත්, එහි ඇතුළත් ඔබගේ අයිතිවාසිකම් හා වගකීම් පිළිබඳව දැන ගැනීමටත් ඔබට අයිතිය ඇත.

  • ඔබ, කම්කරු නීතියේ රැකවරණය යටතේ සේවය කරන බව දැන සිටීම වැදගත් ය. කම්කරු නීතිය යටතේ ජෝර්දාන් ජාතික සේවකයන්ට හිමිවන අයිතිවාසිකම් හා සමාන අයිතිවාසිකම් ඔබට ද හිමි වේ.
  • ඔබගේ විදේශ ගමන් බලපත්‍රය සහ රැකියා බලපත්‍රය ඔබ වෙත තබා ගැනීමට ඔබට අයිතිය ඇත. සේවායෝජකයාට හෝ වෙනත් යම් තැනැත්තකුට කිසිදු හේතුවක් මත ඔබේ විදේශ ගමන් බලපත්‍රය රඳවා ගැනීමට අවසර නැත.
  • සේවායෝජකයා විසින් රැකියා බලපත්‍ර ගාස්තුව ද එය නිකුත් කිරීමේ හා අලූත් කිරීමේ ගාස්තු ද ගෙවිය යුතු වේ. මෙම ගාස්තු ඔබේ වේතනයෙන් අඩුකර ගැනීමට සේවායෝජකයාට නොහැකි ය.
  • නීතිය අනුව ඔබ මුළු ගිවිසුමේ කාලසීමාව ම එකම සේවායෝජකයකු යටතේ වැඩ කළ යුතුය. පහත දැක්වෙන නීතිමය හේතු මත හැර ඔබට සේවය හැර යා නොහැකිය.  එනම්,

–              ඔබට ශාරීරිකව, වාචිකව හෝ ලිංගිකව හිරිහැර කිරීම

–              ඔබගේ වැටුප නොගෙවීම හෝ අඩු කිරීම

–              ඔබ විසින් එකඟ වු ක්ෂේත්‍රය හැර වෙනත් ක්ෂේත්‍රයක් සඳහා හෝ වෙනත් පුද්ගලයන් වෙනුවෙන් සේවය කරන ලෙසට ඔබට බලපෑම් කිරීම

–              ඔබගේ රැකියා බලපත්‍රය හෝ වාසස්ථාන බලපත්‍ර අලූත් කිරීම ඔබේ සේවායෝජකයා පැහැර හැරීම

  • සේවායෝජකයා සමඟ එකඟතාවයකට නොපැමිණි වෘත්තියක සේවයේ යෙදෙන ලෙසට ඔබට බලපෑම් කිරීමට කිසිවෙකුට හැකියාවක් නැත. එකඟ වූ රැකියාවට වෙනස් වූ රැකියාවක යෙදෙන ලෙස යමෙකු ඔබට බලපෑම් කරයි නම්, සේවය හැර යාමටත්, වන්දි ඉල්ලා සිටීමටත් ඔබට අයිතිය ඇත.
  • ගිවිසුම කල් පිරුණු පසු සේවායෝජකයා මාරු කිරීමට ඔබට අයිතිය ඇත. ඔබ එය කළ යුත්තේ කම්කරු අමාත්‍යාංශය හරහා ය.  ඔබ, අලූත් සේවායෝජකයාගේ නමට රැකියා බලපත්‍රයක් ද ලබා ගත යුතුය.
  • ඔබ රැකියා බලපත්‍රයක් නොමැතිව සේවය කරයි නම් හෝ, සේවය කිරීමට නීතියෙන් අවසර දී නැති තැනැත්තකු වෙනුවෙන් ඔබ සේවය කරයි නම් හෝ, ඔබගේ රැකියා බලපත්‍රයෙහි සඳහන් වෘත්තිය නොවන වෘත්තියක ඔබ සේවය කරයි නම් ඔබගේ රටට පිටුවහල් කිරීමේ අවදානමට ඔබ මුහුණ දෙනු ඇත. ඔබ පිටුවහල් කරනු ලැබුවහොත්, ඔබට වසර තුනක් යනතෙක් ජෝර්දානයට ආපසු පැමිණීමට අවසර නො ලැඛෙනු ඇත.
  • ඔබ විසින් කරන කාර්යය කවරක් වුවද, ඔබ ඔබේ සේවායෝජකයා විසින් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළෙහි ලියාපදිංචි කර තිබේද යන්න තහවුරු කර ගත යුතුය. ඔබේ දායක මුදල් නිතිපතා ගෙවනු ලබන බව පරීක්ෂා කිරීම සඳහාත්, ජෝර්දානයෙන් පිට වී යාමට පෙර ඔබට හිමි මුදල් ලබා ගැනීමටත් ඔබගේ ලියාපදිංචි අංකය ඔබ ළඟ තබා ගන්න.
  • ඔබ දිනකට වැඩ කළ යුතු කාලය උපරිම වශයෙන් පැය 8 කි. ඔබ එකඟතාවය පළ කර ඇත්නම් හා ඔබට පැය ගණන අනුව ගෙවීම් කරන්නේ නම් හැර, එකී පැය ගණන ඉක්මවා වැඩ කරන ලෙසට ඔබට බල කිරීමට කිසිවෙකුට හැකියාවක් නැත. ඔබගේ අතිකාල දීමනා, පැයකට ගෙවනු ලබන වේතනයෙන් 125%කට වඩා අඩු නොවිය යුතු ය.
  • ඔබට සතියකට සම්පූර්ණ වැටුප් සහිත එක් විවේක දිනයකට හිමිකම ඇත. ඊට අමතරව සියලූම රජයේ නිවාඩු දින සහ ආගමික නිවාඩු දින සඳහා ඔබට හිමිකම ලැබේ.  මෙකී ඕනෑම නිවාඩු දිනයක සේවයේ යෙදෙන ලෙසට ඔබට පැවසුවහොත් ඔබේ දෛනික වේතනයෙන් 150% ක අතිකාල දීමනාවක් ඔබ වෙත ගෙවිය යුතු වේ.
  • ඔබට සෑම වසරකම දින 14 ක වැටුප් සහිත වාර්ෂික නිවාඩුවකට හිමිකම ඇත. එමෙන්ම අසනීප තත්වයක් සඳහා සෑම වසරකම වැටුප් සහිත අසනීප නිවාඩු දින 14කට ද ඔබට හිමිකම තිබේ.  ඒ අනුව වසරකට නිවාඩු දින 28ක් හිමිය.
  • ඔබගේ පැත්තෙන්, ඔබ ඔබේ රාජකාරි විශ්වසනීය ලෙස හා අවංකව සහ වැරදි රහිතව ඉටු කළ යුතු වේ. තවද, ඔබට ලැඛෙන උපකරණ මැනවින් නඩත්තු කළ යුතු අතර, වැඩ සම්බන්ධයෙන් වන නියෝග පිළිපැදිය යුතු වේ.  තවද, ඔබගේ රැකියාව නීති උල්ලංඝනය කිරීම සඳහා යොදා ගැනීම නොකළ යුතු ය.
  • ඔබගේ කිසියම් අයිතිවාසිකමක් උල්ලංඝනය කරනු ලැබුවහොත් හෝ ඔබ වාචිකව හෝ ශාරීරිකව හිංසනයට ලක් කරනු ලැබුවහොත් හෝ, ඔබට නිදහසේ සැරිසැරීමට ඉඩ දෙනු නොලැබුවහොත් හෝ ඔබගේ විදේශ ගමන් බලපත්‍රය හෝ පෞද්ගලික ලියකියවිලි රඳවාගනු ලැබුවහොත් හෝ, ඔබගේ වැටුප ගෙවනු නොලැබුවහොත් හෝ ප්‍රමාද කරනු ලැබුවහොත් හෝ, යමෙකු ඔබට වැඩ කිරීමට බලපෑම් කළහොත් හෝ, මෙම විස්තර පත්‍රිකාවෙහි සඳහන් සංවිධානවලින් එකකට දැනුම් දීමට ඔබට අයිතිය ඇත.
Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435