සංක්‍රමණික සේවකයන්ට අදාළ කොරියානු නීති රෙගුලාසි

සංක්‍රමණික සේවකයන්ගේ අයිතිවාසිකම්

රැකියා බලපත්‍ර ක්‍රමය, ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට සහ සම්මතයන්ට අනුකූලවන බවට සහතික කර ගැනීමේ වගකීමක් දකුණු කොරියානු රජය වෙත ඇත.  සංක්‍රමණික සේවකයන් සියලූම දෙනාට, ස්වකීය නෛතික තත්වය නොතකා, ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය හා කම්කරු අයිතිවාසිකම් නීතිය යටතේ වන අයිතිවාසිකම් හිමි වේ.

දකුණු කොරියානු රජය, රැකියා බලපත්‍ර ක්‍රමය පිළිබඳ පනත සම්මත කිරීම මගින්, දකුණු කොරියාවේ සංක්‍රමණික සේවකයන්ගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට වැදගත් ප්‍රයත්නයක් දරා ඇත.

ජාත්‍යන්තර සම්මතයන්

සංක්‍රමණික සේවකයන්ගේ නෛතික තත්වය කවරක්ද යන්න නොතකා, සියලූම සංක්‍රමණික සේවකයන්ගේ අයිතිවාසිකම් ගරු කළ යුතු බව හා ප්‍රවර්ධනය කළ යුතු බවට විධිවිධාන සලසන ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර මානව හිමිකම් හා කම්කරු ප්‍රඥප්තීන් රාශියක් දකුණු කොරියාව විසින් අපරානුමත කර ඇත.  කෙසේ වුවද, සියලූම සංක්‍රමණික සේවකයන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම පිළිබඳ අන්තර්ජාතික සම්මුතියට දකුණු කොරියාව තවම අත්සන් තබා නැත.

දකුණු කොරියාව පහත දැක්වෙන, අන්තර්ජාතික කම්කරු සංවිධානයේ සම්මුතීන්වල රාජ්‍ය පාර්ශ්වකරුවකු වේ.  කම්කරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රධාන ප්‍රමිතීන් ලෙස සලකනු ලබන, අන්තර්ජාතික කම්කරු සංවිධානයේ මූලික සම්මුතීන් අට අතුරින් පහත සඳහන් සම්මුතීන් දකුණු කොරියාව විසින් අනුමත කර ඇත.

  • අන්තර්ජාතික කම්කරු සංවිධානයේ අංක 100 දරන සම්මුතිය.

සමාන පාරිතෝෂික සම්මුතිය, 1951. (දකුණු කොරියාව විසින් 1997 දෙසැම්බර් මාසයේ දී අපරානුමත කරන ලදී)

  • අන්තර්ජාතික කම්කරු සංවිධානයේ අංක 111 දරන සම්මුතිය.

වෙනස් ලෙස සැලකීම (සේවා නියුක්තිය හා රැකියාව) පිළිබඳ සම්මුතිය, 1958. (දකුණු කොරියාව විසින් 1998 දෙසැම්බර් මාසයේ දී අනුමත කරන ලදී).

  • අන්තර්ජාතික කම්කරු සංවිධානයේ අංක 138 දරන සම්මුතිය:

අවම වයස පිළිබඳ සම්මුතිය, 1973. (දකුණු කොරියාව විසින් 1999 ජනවාරි මාසයේ දී අනුමත කරන ලදී)

  • අන්තර්ජාතික කම්කරු සංවිධානයේ අංක 182 දරන සම්මුතිය:

ළමා ශ්‍රමයේ අයහපත්ම ස්වරූප පිළිබඳ සම්මුතිය, 1999. (දකුණු කොරියාව විසින් 2001 මාර්තු මාසයේ දී අනුමත කරන ලදී).

කෙසේවුවද, දකුණු කොරියාව අන්තර්ජාතික කම්කරු සංවිධානයේ සමහර වැදගත් සම්මුතීන්වල රාජ්‍ය පාර්ශ්වකරුවකු නොවේ.  එකී සම්මුතීන් අනුමත කොට ක්‍රියාත්මක කිරිමෙන් දකුණු කොරියාවේ සංක්‍රමණික සේවකයන් මුහුණ දෙන අවදානම් සහගත තත්වයන්ගෙන් වළක්වා ගැනීමට හැකි වනු ඇත.

සමාගමයේ නිදහස

දකුණු කොරියානු නීතිය අනුව, වෘත්තීය සමිති පිහිටුවා ගැනීමට හෝ වෘත්තීය සමිතිවලට බැඳීමට සේවකයන්ට අවසර තිබේ.  එහෙත් දකුණු කොරියාවේ සිටින සංක්‍රමණික සේවකයන්ට, නීතියෙන් පිළිගත් වෘත්තීය සමිතියක් පිහිටුවා ගැනීමට හැකි වී නැත.

රැකියා බලපත්‍ර ක්‍රමය

රැකියා බලපත්‍ර ක්‍රමය පිළිබඳ පනත 2004 අගෝස්තු මාසයේ දී බලාත්මක විය.  ඉන් සංක්‍රමණික සේවකයන්ට නීතිමය පිළිගැනීමක් ලබා දීමටත්, ඔවුන්ට එරෙහි මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නිමා කිරීමටත් අපේක්ෂා කෙරුණි.  එම පනත සම්මත කිරිම මගින්, දකුණු කොරියාව ශ්‍රමය ආනයනය කරන හා නීතියක් මගින් සංක්‍රමණික සේවකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට උත්සාහ ගනු ලැබූ ප්‍රථම ආසියාතික රට බවට පත් විය.  පුරප්පාඩුවක් පිරවීමට කොරියානු සේවයකු සොයා ගැනීමට අපහසු සේවායෝජකයකුට, රෑකියා බලපත්‍ර ක්‍රමය යටතේ එක් අවුරුදු ගිවිසුමක් මත විදේශිකයකු සේවයේ යෙදවීම සඳහා කම්කරු අමාත්‍යාංශයෙන් බලපත්‍රයක් ලබා ගත හැකිය.  ගිවිසුම උපරිම වශයෙන් වසර තුනක් දක්වා දීර්ඝ කරනු ලැබිය හැකිය.

ආරක්ෂාව හා සම්බන්ධ රීති අනුව තම සේවකයන් සඳහා මාසිකව වෛද්‍ය පරීක්ෂණ පැවැත්වීමට හා ඔවුන් පාවිචිචි කරන යන්ත්‍රෝපකරණවල ආරක්ෂාකාරි බව පරීක්ෂා කිරීමට සියලූම සේවායෝජකයෝ බැඳී සිටිති.

වෘත්තීය සමිති ක්‍රියාකාරීන්

දකුණු කොරියානු නීතිය යටතේ, වෘත්තීය සමිතියක් නීත්‍යානුකූලව පවත්වාගෙන යාම සඳහා එය කම්කරු අමාත්‍යවරයා වෙත ලියාපදිංචි කරනු ලැබිය යුතුය.

අත්අඩංගුවට ගැනීම, රඳවා තැබීම හා රටින් පිටුවහල් කිරීම

අවිධිමත් සංක්‍රමණිකයන්, අත්අඩංගුවට ගැනීමේ, බොහෝ විට අල්ප පහසුකම් යටතේ – රඳවා තබා ගැනීමේ – හා ඔවුන්ගේ මවි රටවලට බලහත්කාරයෙන් ආපසු පිටත් කර යැවීමේ නිරන්තර අවදානමට මුහුණ දෙති.

ආගමන විගමන පාලන පනත යටතේ අවිධිමත් සේවකයන් සොයා සෝදිසි කිරීමටත්, රඳවා තැබීමටත් හා රැඳවුම් නියෝග නිකුත් කිරීමටත් ආගමන විගමන නිලධාරීන්ට බලය තිබේ.  රැඳවුම් නියෝග නිකුත් කිරීම සඳහා ආගමන විගමන නිලධාරීන්ට ඇති බලය, විනිශ්චයකාරවරයකු විසින් රැඳවුම් නියෝග නිකුත් නිකුත් කළ යුතු බවට නියම කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධානය ඉක්මවා යන්නක් බව පෙනී යයි.  ආගමන විගමන නිලධාරීන් විසින් පිටුවහල් කිරීමේ නියෝග ද නිකුත් කරනු ලබන අතර, පිටුවහල් කිරීමේ නියෝගයක් නිකුත් කරනු ලැබූ පසු රඳවා තබා ගනු ලැබිය හැකි කාලය සඳහා සීමාවක් නැත.

කොරියානු ආගමන විගමන බලධාරීන් විසින් අවිධිමත් සංක්‍රමණික සේවකයන් පමණක් නොව, ලේඛනගත සේවකයන් ද සාධාරණ හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගනු ලැබූ ඇතැම් අවස්ථා වාර්තා වී ඇත.  ඒවා ඇතැම් විට ලේඛනගත සේවකයන් ද අදාළ ස්ථානවල සිටීම නිසා හෝ භාෂාමය ගැටලූ හේතුවෙන් ඇති වූ වැරදි අවබෝධය නිසා සිදු වී ඇත.  අවිධිමත්, ලේඛනගත වී නැති සංක්‍රමණික සේවකයන් සිටින ස්ථාන අනාවරණය කර ගැනීමේ ක්‍රමෝපායක් ලෙස ආගමන විගමන නිලධාරීන් විසින් විධිමත්, ලේඛනගත සංක්‍රමණික සේවකයන් හිරිහැර කරදරවලට ලක් කර ඇති බවට වාර්තා වී ඇත.

තමන් සේවය කරන  අතරවාරයෙහි තමනට හමුවන සියලූම අවිධිමත් සංක්‍රමණික සේවකයන් පිළබඳව ආගමන-විගමන බලධාරීන් වෙත දැනුම් දීමේ යුතුකමක් සමාජ සේවා ඇතුළු සියලූම රජයේ සේවකයන් වෙත ඇත.  ඇතැම් විශේෂඥයන්ට අනුව මෙම යුතුකම හේතුවෙන් සෞඛ්‍ය සේවා ආදී සේවාවන් ලබා ගැනීම අවශ්‍ය විය හැකි අවිධිමත් සංක්‍රමණික සේවකයන් අවදානමකට ඇද දැමීම හෝ ඔවුන් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වල  ගොදුරු බවට පත් වීම සිදු වී ඇත.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435