ශ්‍රී ලංකාවේ කාන්තාවන් ‘මෙන්සස් බද්ද’ නිසා “අන්ත දුගී වෙනවා”

සනීපාරක්ෂක තුවා හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සැමට නොමිලේ ලබා දෙන ලොව පළමු රට බවට ස්කොට්ලන්තය පත්ව ඇතැයි මාධ්‍ය වාර්තා කරන්නේ වර්තමානයේදී කාන්තාවන් ඔසප් දුගී බවින් මුදවාගැනීමට ලෝකයේ නොයෙකුත් රටවල් ගනු ලබන ක්‍රියාමාර්ගයන් හි ප්‍රතිඵලයක් වශයෙන් හා එහි වැදගත්කම ලොවට කියාපාමිනි.

එහෙත් ශ්‍රී ලංකාව තුළ නැවතත් සනීපාරක්ෂක තුවා හා ඒ ආශ්‍රිත නිෂ්පාදන දැඩි කතාබහට ලක්වන්නේ ඒ සඳහා අධික බදු අයකරන රටක් බවට පත් වී ඇති බව හා එම බදු අයකිරීම අසාධාරණ බවට චෝදනා නැගෙන පසුබිමක ය.

එහෙත් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසන්නේ සනීපාරක්ෂක තුවාවල බදු වැඩිකිරිමක් සිදු කර නොමැති බවය.

සනිපාරක්ෂක තුවාවල අදාළ බදු වැඩි කර ඇතැයි යන්න වැරදි තොරතුරක් බව පවසන ඔහු අයවැය ඉදිරිපත් කිරීමට පෙර මේ සම්බන්ධව පැවති “රේගු ආනයන බද්ද” 30% ක් බව පෙන්වා දෙයි. අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව එම බදු ප්‍රමාණය 15% දක්වා අඩු කර 15% ක ” සෙස් බද්දක්” එකතු කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටී.

අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

“ඒ අනුව කිසිදු බදු වැඩි කිරීමක් සිදුව නැහැ. ආනයන බදු ප්‍රමාණය රඳවා ගැනීමේ අවශ්‍යතාව වන්නේ දේශීය කර්මාන්තකරුවන් දිරිගැන්වීම සඳහායි. ඒ අනුව රජය විසින් මිල වැඩිවන වෙනසක් සිදුකර නැහැ,” යනුවෙන් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසා තිබිණි.

එහෙත් මෙම තත්ත්වයට ප්‍රතිචාර ලෙස නිවේදනයක් නිකුත් කරමින් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න පැවසුවේ, සනීපාරක්ෂක තුවා යනු අත්‍යවශ්‍ය භාණ්ඩයක් මිස සුඛෝපභෝගී භාණ්ඩයක් නොවන බව ය. ශ්‍රී ලංකාවේ සනිපාරක්ෂක තුවා මත 51% ක බද්දක් පටවා ඇති බව පවසන ඇය, “සෞභාග්‍යයේ ආණ්ඩුවේ 15% ‘මෙන්සන් බද්ද’ සාධාරණීකරණය කරන්න නරුමයින් පිරිසක් උත්සහ දරනවා” යැයි කියා සිටියාය.

2018 වන විට සනීපාරක්ෂක තුවා මත 101.2% ක බද්දක් අයකළ බවත් යහපාලන ආණ්ඩුව එම බදු අඩු කළේ සමාජ ක්‍රියාකාරීන්ගේ ඉල්ලීමක් ඉටු කිරීමක් මෙන්ම කාන්තාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා ගන්න පියවරක් ලෙස සළකා යැයි ද ඇය සඳහන් කළාය.

කාන්තාවන් සියලු දෙනාට දැරිය හැකි මිලකට සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමට පරිසරයක් නිර්මාණය කිරීම ශිෂ්ඨ සමාජයක වගකීමක් යැයි පෙන්වා දෙන ඇය ලංකාවේ දරුවන්ගෙන් 60% ක් ඔසප් දිනවල පාසලට පැමිණෙන්නේ නැති බව ගුරුවරියක ලෙස තමන් හොඳින් දන්නේ යැයි ද කියා සිටී.

රෝහිණී කවිරත්න

“ළමා ඩයපර් විතරක් නෙවෙයි රෝගී වැඩිහිටියන්ගේ අවශ්‍යතා සඳහා භාවිත කරන ඩයපර් පවා නව සෙස් බද්දට යටත් කොට තිබෙනවා. ‘මෙන්සස් බද්ද’ වගේම රෝගීන් ගේ මල මුත්‍ර ටිකෙනුත් බදු ගන්න ආණ්ඩුවක් බවට රජය පත්වී තිබෙනවා,” යැයි ද මන්ත්‍රීවරිය සිය නිවේදනයෙන් කියා සිටී.

“වැට්, සෙස්, රේගු, ජාතික ගොඩනැගීම ආදී වශයෙන් සනීපාරක්ෂක තුවායකට 51% ක් දැනට බදු ගහනවා. ‘මෙන්සස් බද්ද’ අශිෂ්ඨත්වයේ ප්‍රතිමූර්තිය වන්නේ ඒ නිසයි.” යැයි ද ඇය වැඩිදුරටත් සඳහන් කරන්නීය.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 52% ක්ම කාන්තාවන් වන අතර දළ වශයෙන් ඉන් මිලියන 5.7 ක් ඔසප් වන කාන්තාවන් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු සංඛ්‍යාලේඛන පෙන්නුම්කරයි.

කෙසේ වෙතත්, ඔසප් සනීපාරක්ෂක නිෂ්පාදන සුඛෝපභෝගී භාණ්ඩ වී තිබීම තුළ බොහෝ ශ්‍රී ලාංකික කාන්තාවන් සඳහා, ආරක්ෂිත හා දැරිය හැකි ඔසප් සනීපාරක්ෂක නිෂ්පාදන අත්කරගැනීම සඳහා ඇති ප්‍රවේශය ඉතා අඩුවී ඇති බව මේ පිළිබඳ නිරීක්ෂණයේ යෙදෙන්නෝ පවසති.

ශ්‍රී ලංකාවේ ඔසප් සනීපාරක්ෂක නිෂ්පාදන අත්පත් කරගැනීමට නොහැකි වීමට ප්‍රධාන හේතුව නම් ආනයනික ඔසප් සනීපාරක්ෂක නිෂ්පාදන සඳහා අය කරනුලබන අධික බදු බවට ඔවුන්ගේ අදහස වී තිබේ.

සනීපාරක්ෂක තුවා සහ ටැම්පොන් සඳහා එච්එස් කේතය (HS 96190010) යටතේ බදු අය කෙරේ. ඒ සඳහා අය කරන ආනයන ගාස්තු මේ වන විට 53.7% ක් වන අතර අයවැයට පෙර එය 52% ක් විණි.

සනීපාරක්ෂක තුවා සඳහා බද්ද 2018 සැප්තැම්බර් වන තෙක් පැවති බදු ප්‍රමාණය 101.2% ක් විය. ඒ 30% ක අනයන බද්දක් 15% ක වැට්, 7.5% ක පැල් (PAL), 2% ක ජාතිය ගොඩනැගීමේ බදු (NBT) සහ 30% හෝ කිලෝග්‍රැමයකට රුපියල් 300 ක සෙස් යනාදිය ද ඇතුළත් සියලු බදු වල එකතුවක් ලෙසිනි.

එහෙත් ඊට සමාජයෙන් එල්ල වූ විරෝධය හමුවේ 2018 සැප්තැම්බර් මාසයේදී මෙම බද්දෙහි සෙස් ප්‍රමාණය එවක සිටි මුදල් අමාත්‍යවරයා විසින් අවලංගු කරනු ලැබීය. ඒ අනුව සමස්ත බදු ප්‍රමාණය 62% විය. තවද, 2019 නොවැම්බරයේදී අලුතින් තේරී පත් වූ ජනාධිපතිවරයා විසින් බදු අඩු කිරීමේ වැඩපිළිවෙලක් ප්‍රකාශයට පත් කරන ලද අතර එහි ප්‍රතිඵලය වූයේ වැට් බදු අඩු කිරීම සහ සනීපාරක්ෂක තුවා මත ජාතිය ගොඩනැගීමේ බද්ද අහෝසි කිරීමය. ඒ මගින් සනීපාරක්ෂක තුවා සඳහා වන මුලු ගාස්තුව 52% දක්වා අඩු කළේය.

එවැනි බදු අඩු කිරීමක දී වුවද සනීපාරක්ෂක තුවා සහ ටැම්පොන් ශ්‍රී ලාංකික කාන්තාවන්ගෙන් අතිමහත් බහුතරයකට දැරිය නොහැකි මට්ටමක පවතින බවට විශ්ලේෂකයන් ගේ අදහස වී තිබේ.

ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළේ සනීපාරක්ෂක තුවා අලෙවි කෙරෙන්නේ රු. 120 – 175 ත් අතර මිලකට ය. ආනයනික වෙළෙඳනාම රු. 350 දක්වා මිලකට අලෙවි කෙරේ. එම නිසා ආනයනික සනීපාරක්ෂක තුවා මිලදී ගැනීම බහුතර කාන්තවන්ට ඉතා අසීරු කරුණක් සේ ම එයින් එය සුඛෝපභෝගී භාණ්ඩයක් බවට පත් කර තීබෙන බව විශ්ලේෂකයෝ පවසති.

සාමාන්‍ය කාන්තාවකගේ ඔසප් කාල සීමාව දින 5 ක් පමණ වන අතර දිනකට සාමාන්‍යයෙන් සනීපාරක්ෂක තුවා 4 ක් භාවිත කරනු ඇත. ඒ අනුව පෙර බදු ක්‍රමය යටතේ කාන්තාවකට මසකට රුපියල් 520 ක් ඔසප් සනීපාරක්ෂක නිෂ්පාදන සදහා වැය කිරීමට සිදුවන බවට ගණන් බලා ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

“ඔසප් සනීපාරක්ෂාවෙන් දුගීවීම කියන්නෙ කාන්තාවන්ගේ සනීපාරක්ෂාවට වියදම් කිරීම මිල අධික වීම සහ එම වියදම් දරා ගැනීමට අපහසු වීමයි,” ඇඩ්වෝකටා පර්යේෂණ ආයතනයේ පර්යේෂණ කළමනාකාරිනී අනීතා වරුසවිතාරණ බීබීසී සිංහල සේවය සමඟ පැවසීය. ආනයනික සනීපාරක්ෂක තුවා එතරම් මිල අධික වීමට ප්‍රධාන හේතුව රජය අයකරන අසීමාන්තික සහ අසාධාරණ බදු ප්‍රමාණය බව ඇය කියා සිටී.

අනීතා වරුසවිතාරණ

“වෙළෙඳපොළෙන් කැමති භාණ්ඩයක් මිලදී ගැනීමට ඇති අයිතිය කාන්තාවන්ට ලැබිය යුතුයි,” අනීතා වරුසවිතාරණ සඳහන් කළාය.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු දත්ත අනුව ශ්‍රී ලංකාවේ දුගී ම කුටුම්භයන්ගේ ඇස්තමේන්තුගත සාමාන්‍ය මාසික කුටුම්භ ආදායම රුපියල් 14,843 කි. මෙම කුටුම්භයන්හි, ඔසප් සනීපාරක්ෂක නිෂ්පාදන සඳහා මාසික පිරිවැය ඔවුන්ගේ වියදමෙන් 3.5% කි. සාපේක්ෂව, ඇඳුම් සඳහා මෙම ආදායම් කාණ්ඩයේ වියදම් ප්‍රතිශතය 4.4% කි.

අන්තර්ජාතික වශයෙන්, ඔසප් සනීපාරක්ෂක නිෂ්පාදන බදුකරණය අවලංගු කිරීමේ නැඹුරුවක් පවතින අතර ඔසප් නිෂ්පාදන සඳහා විකුණුම් බද්ද අහෝසි කළ පළමු රට බවට කෙන්යාව පත්වූයේ 2004 දී ය. ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඉන්දියාව, අයර්ලන්තය සහ මැලේසියාව ඇතුළු රටවල් මෑත වසරවලදී එය අනුගමනය කර ඇත.

ඔසප් සනීපාරක්ෂක නිෂ්පාදන ලබාගැනීමට ඇති නොහැකියාවෙන් බොහෝ විට සිදුවන්නේ තාවකාලික, සනීපාරක්ෂක නොවන ආදේශන භාවිත කිරීම ය. එමගින් ඔසප් සනීපාරක්ෂක කළමනාකරණය කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කරන අපිරිසිදු ආදේශන භාවිතයට ගැනීමේ ප්‍රවණතා ද වේ.

අද වන විට ශ්‍රී ලාංකික කාන්තාවන් අතර දෙවැනි තැන ලා සැලකෙන වඩාත් සුලභ පිළිකා වර්ගය වන ගැබ්ගෙල පිළිකා වර්ධනය හා සම්බන්ධ වන එක් හේතුවක් ලෙස දුර්වල ඔසප් සනීපාරක්ෂක කළමනාකරණය ද සැළකෙන බව පර්යේෂකයෝ පවසති.

වර්තමාන ඇස්තමේන්තුවලට අනුව සෑම වසරකදී ම ශ්‍රී ලාංකික කාන්තාවන් 1136 ක් පමණ ගැබ්ගෙල පිළිකා ඇති බවට හඳුනාගෙන ඇති අතර සෑම වසරකම 643 ක් පමණ එම රෝගයෙන් මිය යති.

ඔසප් වීම සහ ඔසප් සනීපාරක්ෂාව පිළිබඳ අධ්‍යාපනය අඩු වීම, සමාජයේ ඔසප් වීම පිළිබඳ තිබෙන මිථ්‍යා මත මෙන් ම විවෘතව මෙවැනි මාතෘකාව සාකච්ඡා කිරීමට බිය වීම දුර්වල ඔසප් සනීපාරක්ෂාව සඳහා හේතු වන බව ඒ පිළිබඳ අධ්‍යයනයක යෙදුනු අනුකි ප්‍රේමචන්ද්‍ර පැවසීය.

අනුකි ප්‍රේමචන්ද්‍ර තම මුහුණුපොතේ තැබූ ඡායාරුවක්

අනුකි ප්‍රේමචන්ද්‍ර තම මුහුණුපොතේ තැබූ ඡායාරුවක්

“දුර්වල ඔසප් සනීපාරක්ෂාව නිසා බොහෝ ශ්‍රී ලාංකික කාන්තාවන් අනෙක් රටවල් වල කාන්තාවන්ට වඩා සිටින්නේ පිටුපසින්. ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂක තුවා භාවිතය සලකන්නේ සුඛෝපභෝගී භාණ්ඩයක් විදියටයි. එහෙමත් නැත්තම් කලු වෙළෙඳපොළේ විකිනෙන භාණ්ඩයක් ලෙසටයි. ශ්‍රී ලංකාව තුළ සනීපාරක්ෂක තුවා සහ කාන්තා සනීපාරක්ෂාව පිළිබඳ මිත්‍යා මත සහ සමාජ පීඩනය නිසා දිනපතාම සනීපාරක්ෂාව අතින් අපි අත්ත දුප්පත් තත්ත්වයට පත්වෙමින් තිබෙනවා,” යනුවෙන් ඇය පැවසීය.

සාමාන්‍යයෙන් කාන්තාවක් සිය ජීවිත කාලය තුළ දින 2535 ක ආර්තව කාලයක් නැතහොත් ඔසප් කාලයක් ගත කරයි. එක්වර බැලූ බැල්මට එය එතරම් දීර්ඝ කාලයෙක් ලෙස නොපෙනුණ ද එය වසර හතක පමණ කාලයකි. කාන්තාවකට ඉතා අවම සනීපාරක්ෂක තත්ත්ව යටතේ ඔසප් කාලවලදී සනීපාරක්ෂකතුවා වල මිල අධික වීම නිසා රෙදි කඩවල් භාවිතයට තල්ලු කිරීම කෙතරම් සාධාරණ දැයි ඇය ප්‍රශ්ණ කළේය.

සනීපාරක්ෂක තුවා සුඛෝපභෝගී භාණ්ඩයක් බවට පත්වීම ඉතා කණගාටුදායක තත්ත්වයක් බව කී ඈ, මිලෙන් වැඩි අත් ඔරලෝසු සහ සුවඳ විලවුන් සුඛෝපභෝගී භාණ්ඩ ලෙස සැලකෙන්නේ එම භාණ්ඩ සමාජයේ ඉහළ ආදායමක් උපයන පිරිසට පමණක් මිලදී ගත හැකි වීම නිසා යැයි සඳහන් කළාය. ඒ අනුව පවතින බදු ක්‍රමය අනුව සනීපාරක්ෂක තුවා ද සුඛෝපභෝගී භාණ්ඩයක් බවට පත් කර තිබෙන බව අනුකි ප්‍රේමචන්ද්‍ර කීවාය.

“මම පසුගිය දිනක නුවර සිට නැවත කොළඹ පැමිණෙන අතර මඟ සාමාන්‍ය සිල්ලර කඩයෙකින් සනීපාරක්ෂක තුවායක් මිලදී ගත්විට කඩයේ මුදලාලි මෙම සනීපාරක්ෂක තුවාය කඩදාසි ගණාවකින් ඔතා ඉතාම රහසිගතව ලබාදුන්නේ හරියට මම ඔසප් කාලයක් පසුකිරීම මහා අපරාධයක් ලෙස සලකමිනුයි. ඔසප්භාවය ගැන කථාකරන විට සමහරු සංස්කෘතියට බනිනවා. සමහරු සමාජයේ තිබෙන මිථ්‍යා මතවලට දොස් නගනවා. නමුත් අවසාන ප්‍රතිඵලය මිලියන 10.5 තරම් කාන්තාවන් ආර්ථව චක්‍ර දිළිඳුභාවයට පත්වීමයි.”

අසල්වැසි ඉන්දියාව සමඟ සැසඳීමෙදී ශ්‍රී ලංකාවේ අලෙවි කෙරෙන සනීපාරක්ෂක තුවාවල විවිධත්වය ඉතා අවම මට්ටමක පවතින බව විශ්ලේෂකයන්ගේ අදහස ය. එක් එක් කාන්තාවට අවශ්‍යා සනීපාරක්ෂක තුවා වර්ග එකිනෙකට වෙනස් සහ එය තීරණය වන්නේ එම කාන්තාවගේ කායික ස්වභාවය සහ ලක්ෂණ අනුව බව ඔවුහු පවසති.

ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂක තුවා වෙළෙඳපොළ දේශීය වශයෙන් නිපදවන සන්නාම කිහිපයක් මඟින් අත්පත් කරගෙන තිබෙන බවත් එම දේශීය වෙළෙඳනාමවලට ආරක්ෂාව සැපයීම සඳහා ආනයනික සනීපාරක්ෂක තුවා මත ඉතා ඉහළ ආනයනික බද්දක් අය කරනු ලබන බවත් ඔවුහු කියා සිටිති.

“සනීපාරක්ෂකතුවා කලු වෙළඳපොළේ විකිනෙණ භාණ්ඩයක් ලෙස සැලකෙන නිසා ලෝකයේ අනිත් වෙළෙඳපොළවල්වල දක්නට ලැබෙන නැවත සේදිය හැකි සනීපාරක්ෂක තුවා, කාබනික කපු වලින් නිපදවෙන සනීපාරක්ෂක තුවා, නැවත භාවිත කළ හැකි සනීපාරක්ෂක තුවා ලෙස ඇති විවිධ නිෂ්පාදන කාණ්ඩ දැක ගැනීමට නොහැකියි. අපිට උදාවී තිබෙන තත්ත්වය තමයි අපිට නොගැලපෙන, අපි අකමැති සනීපාරක්ෂක තුවා වැඩි මිලකට මිලට ගැනීම. මේ පිළිබඳව හඩක් නගන්නටවත් කවුරුවත් එක්නොවෙන තරමට සමාජ මතය සනීපාරක්ෂක තුවා මහා රහසිගත කලුකඩ භාණ්ඩයක් කර හමාරයි,” යනුවෙන් අනුකි ප්‍රේමචන්ද්‍ර පැවසීය.

“නැහැ, ඔබ මිලදීගන්නා සනීපාරක්ෂක තුවා පැකැට්ටුව කොලවලින් ඔතා ලබාගැනීමට තරම් රහසිගත සහ භයානක මත්කුඩු වර්ගයක් නොවෙයි. නැහැ, අසීමිත ලෙස බදු ගසා සමාජයේ කිහිපදෙනෙකුට පමණක් මිලදී ගැනීමට හැකිවන ලෙස ඉතා ඉහල මිලකට අලෙවි කලයුතු භාණ්ඩයක් නොවේ සනීපාරක්ෂක තුවා.” යැයි ඇය අවධාරණය කළා ය.

රංග සිරිලාල් – බීබීසී/සිංහල

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435