වසංගත හෝ ව්‍යසන හමුවේ ආණ්ඩුවට අත නොපා ජීවත් වන්නේ කෙසේ ද?

ශ්‍රී ලංකාව රටක් වශයෙන් හෝ ප්‍රාදේශීය වශයෙන් හෝ අනපේක්ෂිත ව්‍යසනයන්ට මුහුණ දෙන අවස්ථාවලදී එම ව්‍යසනයන් හේතුවෙන් අසරණභාවයට පත්වන ජනතාවට සහන සැලසීම සදහා විශාල මුදල් ප්‍රමාණයක් වැය කිරීමට සිදුවේ.

මීට පෙර මෙවැනි අවස්ථා මතු වූයේ, ගංවතුර, නියං තත්ත්ව, වගා හානි වැනි ප්‍රාදේශීය වශයෙන් බලපෑ ව්‍යසන හමුවේය. එවැනි අවස්ථාවල ජනතාව ආර්ථිකමය වශයෙන් දුර්වල වූයේ, දින කිහිපයකට පමණි.

එහෙත්, කොරෝනාවෛරසයේ ගෝලීය ව්‍යාප්තිය හමුවේ ශ්‍රී ලංකාව රටක් ලෙස යම් අගුළු දැමීමකට ලක් කිරීමට සිදුවිය.

මෙම තත්ත්වය නිසා දෛනික ආදායම් ඉපයූවන් හෙවත් නොනිල වෘත්තිකයන් (Informal workers) ආර්ථිකමය වශයෙන් ඉතාමත් අසරණ තත්ත්වයකට ඇද වැටී සිටින බව . එවැනි නොනිල වෘත්තිකයන් කිහිපදෙනෙකු කළ ප්‍රකාශවලින් පෙනෙන්නට විය.

ලෝක බැංකුවේ දත්තවලට අනුව “ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් 70% ක් නොනිල වෘත්තිකයන්ය.

“වෘත්තීය ආරක්ෂාව සහ පඩි සහිත නිවාඩු අඩුකම හේතුවෙන් ඔවුන් අනතුරට තල්ලු වීමට ඇති ඉඩ වැඩිය. සමාජීය දූරස්ථභාවය පවත්වා ගෙන යාම සඳහා ගෙන ඇති පියවර හේතුවෙන් සේවා අංශ වෙත සෘජු බලපෑමක් එල්ල වනු ඇති අතර තවදුරටත් දීර්ඝ කෙරුණු සංචරණ සීමා හේතුවෙන් සංචාරක කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වනු ඇත,” යනුවෙන් ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවක දැක්වේ.

“කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසාය පැවැත්ම සඳහා අරගලයක යෙදේවි. එවැනි තත්ත්වයකදී ආර්ථිකය 3% න් පහළ යාමට ඉඩ ඇති අතර 2020 වසරේදී දුගීභාවය 43.9% කින් ඉහළ යාවි,” යනුවෙන් ඉහත කී වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

“ආණ්ඩුවෙන් ලැබෙන රු. 5000 දෙස බලා සිටීමට සිදු වීම”

ව්‍යසන තත්ත්ව හමුවේ ශ්‍රී ලංකාවේ වෙසෙන විශාල පිරිසකට ආණ්ඩුවෙන් ලැබෙන සහන දෙස බලා සිටීමට සිදුව ඇත්තේ ඇයි? මේ පිළිබදව අදහස් දැක්වූ රජරට විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ගීතානි කුමාරි බුලංකුලම ප්‍රකාශ කළේ, ඊට ප්‍රධාන හේතු දෙකක් බලපා ඇති බවය.

  1. ඉතුරුම් සදහා යොමු නොවීම

මහාචාර්ය ගීතානි කුමාරි බුලංකුලම පවසන්නේ, දෛනික ආදායම් ලබන පුද්ගලයින්ගෙන් බහුතරයක් ඉතුරුම් සදහා යොමු නොවන බවය.

“අනුරාධපුර ආශ්‍රිතව අපි කළ සමීක්ෂණයකින් අනාවරණය වුණා මේ තත්ත්වයේ පුද්ගලයින්ගෙන් බහුතරය ඉතුරුම් සදහා යොමු නොවන බව. ඔවුන්ට ඉතිරි කරන්න කිසිදු පාර්ශවයක් පෙළඹවීමක් හෝ කරන්නේ නැති එක ප්‍රශ්නයක්. සෑම ගමකට ම රජයේ නිලධාරීන් පස් දෙනෙක් බැගින් ඉන්නවා. ඔවුන් කිසි ම කෙනෙක් මේ පිරිසට ඉතුරුම් ගැන යම් පෙළඹවීමක් කරන්නේ නැහැ. ඔවුන් ඉතුරු නොකරන නිසා තමයි මේ වගේ ව්‍යසන තත්ත්වයකදී ආර්ථික වශයෙන් තත්ත්වයට ඇද වැටෙන්න සිද්ධ වෙලා තියෙන්නේ,” මහාචාර්ය ගීතානි කුමාරි බුලංකුලම පෙන්වා දුන්නාය.

ඇය පැවසුවේ, දෛනික වැටුප් ලබන්නන්ට ඉතිරි කිරීම හුරු කරවීමට කිසිදු රජයක් පියවර නොගත් අතර එවැනි වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට රජය පියවර ගත යුතු බවය.

  1. පරිභෝජන රටාව වෙනස් කිරීම.

දෛනික ආදායම් ලබන්නන් ‘යාචක මානසිකත්වයෙන්’ මුදා ගැනීම සදහා ගත හැකි තවත් ක්‍රියාමාර්ගයක් ලෙස ඔවුන්ගේ පරිභෝජන රටාව වෙනස් කිරීම ද කළ යුතු බවට මහාචාර්ය ගීතානි කුමාරි බුලංකුලම යෝජනා කරයි.

“දෛනික ආදායම් ලබන ගොඩක් අය දවසේ හම්බ කරන ඔක්කොම වියදම් කරනවා. ඒ නිසා මුදල් ඉතිරියක් සිද්ධ වෙන්නෙ නෑ. ඒ නිසා මේ අයගේ පරිභෝජන රටාව වෙනස් කරන්නත් පියවර ගත යුතුයි.”

කෙසේ වෙතත්, කළ විමසීමකදී ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ තොරතුරු නිලධාරී සේනක උබේසිංහ ප්‍රකාශ කළේ, අනිවාර්ය ඉතුරුම් හරහා සමෘද්ධි සාමාජිකයින්ට ඉතිරි කිරීම සදහා යම් පෙළඹවීමක් සිදු කරන බවය.

“සමෘද්ධි බැංකු 1073ක් රට පුරා ක්‍රියාත්මක වෙනවා. සාමාන්‍යයෙන් රුපියල් 3500ක මාසික දීමනාව ලබන සාමාජිකයින්ගෙන් රුපියල් 420ක මුදලක් කාරණා 4ක් සදහා කපා ගන්නවා. ඒ කාරණා අතර අනිවාර්ය ඉතුරුම් කියන දේ තියෙනවා. ඒ නිසා ලක්ෂ 20කට වැඩි සාමාජිකයින් ඉතුරුම්වලට යොමු වෙලා තියෙනවා.”

‘ශුභවාදී උත්සහයක්’

දෛනික ආදායම් ලබන්නන් ඉතුරුම් සදහා පෙළඹවීමටත්, ඔවුන්ගේ පරිභෝජන රටාව වෙනස් කිරීමටත් උත්සහ දරන කාන්තා සමිතියක් පිළිබදව මහනුවර, කුණ්ඩසාලේ ප්‍රදේශයෙන් වාර්තා විය.

‘උදුම්බරා ව්‍යවසායක සමිතිය’ ලෙස නම් කර ඇති එම සමිතියේ සභාපතිනිය ලෙස කටයුතු කරන්නේ, ශාන්ති කටුවනආරච්චි නමැති ව්‍යාපාරික කාන්තාවකි.

ඇය සිය ගම්මානය වන දොඩම්ගොල්ල ප්‍රදේශය ආශ්‍රිතව කරන ලද සමීක්ෂණයක දත්ත මෙලෙස විස්තර කළාය.

“ගොඩක් වෙලාවට උදාහරණයක් වශයෙන් කිව්වොත් මේසන් බාස් කෙනෙකුට අත්උදව් දෙන කෙනෙක් දවසකට රුපියල් 2000ක් උපයනවා. ඒකෙන් රුපියල් 800යි ගෙදරට දෙන්නේ. අනිත් 1200 ම දෙන්නේ තැබෑරුමට. මෙන්න මේ තත්ත්වය ගොඩක් බලපානවා මේ පවුල්වල ආර්ථිකයට. මේ තත්ත්වය වෙනස් කරන්න තමයි මේ සමිතිය මම මූලික වෙලා පටන් ගත්තේ. මගේ උත්සහය වෙලා තියෙන්නේ, එවැනි පවුල්වලට ඉතුරුම් ගැන යම් අවබෝධයක් ලබා දෙන ගමන් ඔවුන්ට ආර්ථිකමය ශක්තියක් ලබා දෙන එකයි.”

“ගමේ ගොඩක් අය තේරුම් අරගෙන ඉන්නවා ඉතුරු කරන්නේ නැති එක නිසා ඒ අයට ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙලා තියෙන බව. ඒ නිසා මේ වැඩසටහන ගැන ශුභවාදී බලාපොරොත්තුවක් තියෙනවා.”

“ආර්ථිකය තුළ නොපෙනෙන ඉතා බරපතළ ගැටලුවක්”

වැඩ කරන ජනතාවගෙන් බහුතරය හදිසි තත්ත්වයකදී ආර්ථික වශයෙන් අසරණභාවයට පත්වීම “ශ්‍රී ලංකාවේ මෙන් ම ලෝකයේ ද ආර්ථික තත්ත්වය තුළ නොපෙනෙන ඉතා බරපතළ ගැටලුවක්,” බව විවෘත විශ්වවිද්‍යාලයේ තිරසර සංවර්ධනය පිළිබද අධ්‍යයන අංශයේ ආචාර්ය හරිනි අමරසූරිය පෙන්වා දෙයි.

ඇය පැවසුවේ, “දෛනික අවශ්‍යතා පිරිමසා ගැනීම හැර ඉතිරි කිරීමේ හැකියාවක් නොමැති විශාල පිරිසක් ශ්‍රී ලංකා ආර්ථිකය තුළ ජීවත් වන,” බවය.

“මේ තත්ත්වය අනුව අපට පෙනී යන්නේ අපේ ආර්ථික ක්‍රමය කොයිතරම් දුර්වල ද කියන එක. අපේ ආර්ථික ක්‍රමය කොයිතරම් අවිනිශ්චිත ද දුර්වල ද කියන එක මෙකෙන් තේරුම් ගන්න පුළුවන්. මේක සමස්ත ආර්ථික ව්‍යුහයේ ම බරපතළ දුර්වලතාවක්. මේ සම්බන්ධයෙන් රජය ප්‍රතිචාරයක් දැක්විය යුතුයි.”

කුමුදු ජයවර්ධන / bbc

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435