පසිඳුරන් පිනවීමෙන් නියම සැපය ලැබෙන්නේ නෑ

බෝධිචිත්තා මෙහෙණිය – ඕස්ට්‍රේලියා‍වේ මෙල්බර්න් නුවර හා හොරණ, මෝල්කාව ‘නිසල අරණ’ භාවනා මධ්‍යස්ථානාධිපති

ප්‍රාණය තණ අග රැඳි පිණි බිඳුවක් සේ අස්ථිරය. එවන් වූ දිවියට පැමිණෙන අතොරක් නැති ප්‍රශ්න හමුවේ දිවි තොර කර ගැනීම තරම් අමනෝඥ ක්‍රියාවක් ද නැති තරම් ය. අපගේ සමාජය තුළ වෙසෙන මිනිසුන් දෛනිකව ඇතිවන විවිධ ප්‍රශ්න, කැලඹීම්, දුක් සංකා හමුවේ, ඒවාට ඇති එක ම විසැඳුම ලෙස සලකන්නේ ජීවිතයෙන් පැන යාම ය. දිවි නසා ගැනීම නිසා නැවත මනුෂ්‍ය ලෝකයක ඉපැදිය හැකි ද? ඉන් ඇතිවන ආදීනව කෙබඳුද? ආදී කරුණු පිළිබඳ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සහ මෝල්කාවේ ‘නිසල අරණ’ භාවනා මධ්‍යස්ථානාධිපති බෝධිචිත්තා මෙහෙණින් වහන්සේ සමඟ කළ කතාබහකි මේ.

* පර පණ නැසීම ප්‍රාණ ඝාතයක් ලෙස බුදු දහමේ සැලකෙනවා. ඒ වගේම සිය දිවි නසා ගැනීමත් පවක් ලෙස සලකන්න පුළුවන්ද?

බෞද්ධ දර්ශනයට අනුව සියදිවි හානිකර ගන්නවා කියන්නෙ බරපතළ අකුසල කර්මයක්. මෙය ප්‍රාණඝාතයක් ලෙසටයි ගැනෙන්නේ. සිය දිවි හානිකර ගැනීම විශාල වැරැද්දක්. තහනම් ක්‍රියාවක්. දිවි නසාගැනීම නිසා, ඒකෙ ප්‍රතිඵලයක් විදිහට අපායගාමී වෙන්න පුළුවන්. ඒ අනුව බලද්දි ඒක පහත්ම පහත් ක්‍රියාවක්. මනසින් උසස් යැයි සැලකෙන මිනිසා නිතරම උත්සහ කරන්න ඕනෙ උසස් ක්‍රියා කරන්න මිසක්, පහත් ක්‍රියා කරන්න නෙමෙයි. තිරිසනුන්වත් නොකරන පහත් ක්‍රියා කිරීමට යාමෙන් සිදුවන්නේ මිනිසත්කමට අගෞරවයක්.

* සමහරු දිවි නසා ගන්න උත්සහ කරන්නේ හෝ දිවි නසාගන්නෙ අන්‍යයන්ට පාඩමක් ඉගැන්වීමටයි. මෙසේ කිරීමෙන් අනුන්ට රිදවන්න පුළුවන්ද?

සියදිවි හානිකර ගැනීමේ සිතිවිල්ල පිළිසිඳුනෙ ඔබගේ, මගේ සිතේ විතරක් නෙමෙයි. විවිධ හේතු නිසා ‘මගෙ ජීවිතේ නැතිවුණානම්’, ‘ජීවිතේ නැතිකර ගත්තානම් මීට වඩා හොඳයි’ කියා අනන්ත වාරයක් සිතූ අය ඇති. ඒත් එහෙම හිතුණට කවදාවත් ජීවිතය නැතිකර ගන්නේ නෑ. අපේ ඉන්ද්‍රියන් ක්ෂණයක් ක්ෂණයක් පාසා ගිනිගෙන දැවෙනවා. බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නෙ මීට අමතරව රාග, ද්වේශ, වෛර, ක්‍රෝධ, ඊර්ෂ්‍යා, මෝහ, භය, ජරා, ව්‍යාධි හා මරණ ආදී වූ මහා අග්නිවලින් මිනිසා දැවෙමින් තැවෙමින් සිටිනවා කියලයි. මේ නිසා අපට මොහොතක් මොහොතක් පාසා අප්‍රමාණ අයුරින් දුක් වේදනා ඇතිවෙනවා. ඒ දුක් විඳදරා ගන්න බැරිවූ ලෝකයේ විවිධ රටවල, විවිධ සමාජවල, විවිධ ජාතීන්ට අයත් නොයෙක් සමාජ මට්ටම්වල සිටින දුප්පත්, පොහොසත් ආදී විවිධ පුද්ගලයන්, නොයෙක් උපක්‍රම මගින් දිවි තොර කර ගන්න හිතන්න ඇද්ද? එහෙත් එසේ සිතෙන මොහොතක් පාසා, ඒ සිතිවිල්ල මැඩ පවත්වා ගන්න අප ක්‍රියා කරන්න ඕනෑ.

සියදිවි හානිකර ගත්තා කියා කාටවත් රිදවීමට හැකියාවක් නෑ. එහෙම හිතනවානම් ඒක මහා මෝඩකමක්. එසේ කළොත් වෙන්නෙ තමන් නොදැන තමන්ටම රිදවා ගැනීමකුයි. අනන්ත අප්‍රමාණ දුක් කන්දරාවක් විඳින්න තමන්ටම හේතුසාදා ගැනීමකුයි. තමන්ගෙ ජීවිතය නිස්කාරණේ විනාශ කර ගැනීම සෑම ආගමක් මගින් ම ප්‍රතික්ෂේප කරන, හෙළාදකින, පාපකාරී, පහත් ක්‍රියාවක් ඒ නිසා, දිවි තොරකර ගැනීමට සිතක් පහළ වුණහම, ඉන් මිදීමට ක්‍රියා කිරීම මනුස්සකමට කරන ගෞරවයක්.

* දිවි නසා ගැනීමේ භයානකකම පැහැදිලි කළ හැක්කේ කොහොමද?

තමන් කෙරේ ඇතිවූ ද්වේශ සිතකින් හෝ අනුන් කෙරේ ඇතිවූ ද්වේශය මුල්වී හෝ අවසානයේ චුති සිත කිළිටිවීම නිසා, සතර අපාය ආදී අනන්ත දුක් සහිත ස්ථානවල උත්පත්තිය ලැබීම සිදු වෙනවා. සියලු දුකින් මිදීමේ කෙටි ම මග සියදිවි හානිකර ගැනීම නම්, මේ ක්‍රමය සියලු බුදුවරු, බුද්ධිමතුන් විසින් අගය කරන්න ඕනෑ. ඒත් මෙය සියලු බුදුවරු, බුද්ධිමතුන් හෙළා දැක ඇති ක්‍රමයක්. එහෙම වෙන්න හේතුව ඒක දුක වැඩිකර ගන්න මඟක් මිසක්, දුක නිවාගෙන නියම සැපය ළංකර ගන්න පුළුවන් මඟක් නො‍වන නිසයි.

බුදු දහම මගින් පැහැදිලි කරන්නේ, සියලු දුකෙන් මිදීමට නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කළයුතු බවයි. මනුෂ්‍යයන් ලෙස උත්පත්තිය ලැබූ අපට, ඒ මඟ අවබෝධ කරගෙන යන්න පුළුවන්. ඒ මඟ යාමට ඉමහත් පිනක් හා වාසනාවක් ඇති නිසා, අප ලැබූ මිනිසත් භවය ආරක්ෂා කරගත යුතුයි. මෙලොව උත්පත්තිය ලැබූ සියලු ම ජීවීන් අතරින්, දුකින් මිදීම සඳහා කටයුතු කරන්න පුළුවන් මිනිසාට විතරයි. ඒ නිසා අප ලද මේ මනුෂ්‍යත්වය ප්‍රයෝජනයට අරගෙන, නිට්ඨාවටම දුක නිවා ගැනීමේ වැඩපිළිවෙළක යෙදීමට අද අදම කටයුතු කිරීම අවශ්‍යයි.

* යමෙකුට සියදිවි නසා ගැනීමේ සිතිවිල්ල ආවිට, එය මැඩපවත්වා ගැනීමට ක්‍රියාකරන්න ඕන කොහොමද?

බුදුරජාණන් වහන්සේ දේශනා කළ විදිහට මහා අග්නිවලින් තැවෙන සත්වයාට, ඇවිළෙන ගිනිගොඩවල් ප්‍රමාණය වැඩි වුණහම දැවෙන, තැවෙන, පිච්චෙන හා දුක් විඳීමට සිදුවන ප්‍රමාණය වැඩියි. ඔබට යම් වෙලාවක මේ වගේ සිතිවිල්ලක් ආවොත්, ඔබට වඩා දුක් විඳි, තැවුලට පත් අය මේ හැඟීම පරදලා මෙලොවත්, පරලොවත් ජයගත් අවස්ථා ඇති බව මොහොතක් සිතන්න. මේ තත්ත්වය සැබැවින්ම ඔබට ජය ගන්න පුළුවන්. මින් පෙර මේ ගිනි නිවාගත් අය ගැන හිතලා, අපට එන දුක්ගිනි නිවාගන්න කටයුතු කළොත්, සැනසීම උදාකරගන්න හැකිවේවි.

දිවි ‍නසාගන්න ඕනෑ කියන සිතිවිල්ල ආවහම, කලබල වෙලා කටයුතු කරන්න හොඳ නෑ. ඒ සෑම මොහොතකම ඉවසිලිවන්තව, ගැඹුරින් සිතීමට මොහොතක් අරගන්න. මේ අවස්ථාවේ අපට දැනෙන ශාරීරික, මානසික පීඩාවලින් පලායන්න උත්සහ කළත්, එසේ කිරීමෙන් අපේ ප්‍රශ්න විසැ‍ඳෙන්නේ නෑ. මේ ආකාරයට මිය ගියාට පස්සේ, මීට වඩා අන්ත විදිහට දුක් පීඩා විඳීමට සිදුවන භවයක උත්පත්තිය ලැබීමට, මේ මගින් හේතු සාදාගැනීමක් වෙන්නෙ. එවැන්නක් නුවණැතියන් විසින් නොකළ යුතුයි. එහෙමනම් අප මේ මොහොතේ කටයුතු කරන්න ඕන කොයි විදිහට ද? තමා තුළ ඇති චිත්තාවේගය හඳුනාගෙන, ගුණයට හා නුවණට මුල්තැන දී, බුද්ධිමත්ව කටයුතු කර, මුහුණපා ඇති ප්‍රශ්න විසඳා ගැනීමට ක්‍රියා කිරීමයි. වර්තමානයේ විඳින දුක් පීඩාවලින් සහනයක් ලබා ගැනීම සඳහා, ප්‍රශ්න ඇතිවීමට මූලික වූ හේතුව හොයලා බලලා, දහමට අනුකූලව හෝ සොබාදහමේ නීති රීතිවලට අනුකූලව එය නැති කිරීමට ක්‍රියා කිරීමෙන්, වර්තමානයේ විඳින දුක් පීඩාවලින් සහනයක් ලබා ගැනීමට හැකි වෙනවා. එහෙම නැතිව ප්‍රශ්න ඉතිරිකරලා ජීවිතයෙන් පලායාම මෝඩකමක්.

අපි මැරෙන මොහොතේ හිතේ තිබෙන ස්වභාවය අනුව අපේ ඊළඟ ආත්මය, උත්පත්තිය තීරණය වෙනවා. සියදිවි නසා ගත්තහම ආයෙ කවදාකවත් මනුෂ්‍ය ආත්මයක් ලැබෙන්නෙ නෑ. තිරිසන් භවයක් තමයි ලැබෙන්නෙ. මනුෂ්‍යයෙක් විදිහට බුද්ධිමත්ව හිතලා, ප්‍රශ්න විසඳගෙන දුක තුනීකර ගන්නෙ නැතිව, ඒ පොඩි දුක දරාගන්න බැරිව, තිරිසන් ආත්මෙදි විඳින්න තිබෙන මහා දුක විඳවන්නෙ කොහොමද? ඒ නිසා තමන්ගෙ දුක, මිනිසත් භවයක් ලබා තිබෙන කාලෙදිම අහවර කරගත යුතුයි. තරහවට, ආශාවට, භයට වහල්වෙලා, ජීවිතය නැතිකර ගන්න යාම මෝඩ අදහසක් බව ‘මැරෙන්න ඕනැ’ කියලා හිතෙන විට සිහියට නගාගන්න.

මේ මනුෂ්‍ය ආත්මය ලැබුණෙ පෙර ආත්මයක අප රැස්කරගත් කුසල් සම්භාරයක් නිසයි. ‘මේ ශරීරය අපේ. අපිට ඕන තීරණයක් ගන්න පුළුවන් කියලා අපි හිතන් හිටියත්, ඒ අදහස වැරැදි සිතිවිල්ලක්.

* පවුල් ආරවුල් නිසා, සමහර මවුවරු, පියවරු තම දරුවන් සමඟ කෝච්චියට පැනලා දිවි නසා ගන්නවා. හැමෝටම වස බොන්න දීලා තමනුත් මිය යනවා. මෙවැනි සමාජ ප්‍රශ්න ඇති වෙන්නෙ මොනවගේ හේතු කාරණා නිසාද?

තිරිසනාට තිරිසන් ජීවිතයෙ අගය තේරෙන්නෙ නෑ. මනුෂ්‍යයා‍ටත් මනුෂ්‍ය ජීවිතයේ අගය වැටහෙන්නෙ තමන්ගෙ මනස උසස්කර බැලුවොත් විතරයි. නැත්නම් ඔහු හැසිරෙන්නෙත් තිරිසනුන් වගෙයි. තමන්ගෙ ජීවිතය තමන්ට අයිති නැති, තවත් මනුෂ්‍ය ජීවිතයක් පමණක් බව අප වටහාගත යුතුයි. අපි මනුෂ්‍ය ලෝකෙට ආවෙ කොහොමද? මරණින් මතු ඉපදෙන්නෙ කොහෙද? අපාය කියන්නෙ මොකක්ද? වගේ දේ පිළිබඳ අවබෝධයක් නැති නිසා මේ අයට මනුෂ්‍ය දිවියේ වටිනාකම තේරෙන්නෙ නෑ. අපි මනුෂ්‍ය ආත්මයක උත්පත්තිය ලැබුවෙ මොන තරම් අමාරුවෙන්ද? ඒක අප රැකගන්න ඕනෙ අනෙක් සතුන්ට නැති සිතීමේ ශක්තිය අපට තිබෙන නිසයි. තර්කානුකූලව හිතලා ක්‍රියා කරන්න පුළුවන් නිසයි.

මානව පරිණාමය පිළිබඳ සලකා බැලීමේදී ගුණය, නුවණ වැඩිය හැකි පරිදි අපේ මොළය බොහොම දියුණු මට්ටමෙන් සැකසී තිබෙනවා. සතුන්ගේ මොළය නොදියුණු නිසා ගුණ නුවණ වැඩිය නොහැකියි. ඒ නිසා ඔවුන්ට ‘තිරශ්චාන’ කියනවා. සියලු ජීවීන් ඉපදුණු දා සිටම හොයන්නෙ සැප, සතුට වගේ දේ. ‍ඒත් අප පංචේන්ද්‍රියන් පිනවමින් නොමග යන නිසා නියම සැප ලබන්න බෑ. අපි දුක විඳින්න කැමැති නෑ. යථාර්ථය තේරුම් අරගෙන ක්‍රියා කළොත්, නියම සැප ළඟා කර ගන්න මිනිසාට පුළුවන්. ඒ කියන්නෙ දුක නිවාගන්න පුළුවන් කියන එකයි. බුදු රජාණන් වහන්සේ දේශනා කළේ, උපතේ සිට මරණය දක්වා අප සොයන ලෞකික සැපයට වඩා, දුක නිවන මාර්ගය වන ‘නිර්වාණ සැප’ ළඟාකර ගැනීමට ක්‍රියා කරන ලෙසයි.

වර්තමානයේ ජීවත් වන මිනිසුන් පංචේන්ද්‍රියන් පිනවමින් සැප හොයාගෙන යන නිසා තණ්හාව වැඩෙනවා. එය වැඩෙන්න වැඩෙන්න දුක ඇති වෙනවා. එසේ වැඩෙන දුක ශීඝ්‍රයෙන් වර්ධනය වුණහම, ඒ පුද්ගලයාට එය දරාගන්න බෑ. ඒකට තමයි ආතතිය (Stress) කියන්නෙ. ආතතිය වැඩි වුණහම මේ අය හිතන්නෙ දුකෙන් මිදෙන්න තියෙන එකම ක්‍රමය දිවි නසා ගැනීම කියලයි. කෝච්චියට, ගඟට, මුහුදට පනින එක, වහ බීම, බෙල්ල කපාගැනීම, ගෙල වැලලා ගැනීම නියම සැප කියා හිතනවා. ඒ නිසා තමයි, තමන් දුක නැතිකර ගන්න යන මාවතේම තමන්ගෙ දරුවන්වත් අරන් යන්නෙ. සාකච්ඡා මාර්ගයෙන් විසඳාගන්න පුළුවන් ගැටලුවකට ජීවිත ගණනක් අහිමි කිරීම මොන තරම් තිරශ්චීන ක්‍රියාවක්ද?

කය මරාගත්තට දුක නැවතත් උපදිනවා. මැරෙන මොහොතේ බොහෝ සේ කලබල වෙලා, ආවේගශීලී වෙලා මැරුණොත්, ඒ නිසා හිත කිලිටි වෙනවා. දුක කියන දේ ආත්මෙන් ආත්මෙට ගමන් කරන නිසා, ඒ ‍මොහොතේ තිබෙන පීඩනයෙන් වළකින්න දිවි නසා ගැනීම නොකළ යුතු ක්‍රියාවක්. බෞද්ධයාගේ නියම දිවි නසා ගැනීම තමයි රහත් භාවය කියන්නේ. අප මේ මොහොතේ සිට ක්‍රියා කළයුතු වෙන්නේ ඒ සැපය ලබා ගැනීමටයි.

* ආයු සංස්කාරය මගින් සිදු වෙන්නෙත් දිවි හානිකර ගැනීමක් කියා කි‍ව්වොත් එය නිවැරැදිද?

ඒක සියදිවි හානිකර ගැනීමක් කියන කෝණයෙන් බලන්න බෑ. රහතුන් වහන්සේලා කියන්නෙ ‘මම’ කියා කෙනෙක් නෑ. ඒක සංකල්පයක් විතරයි කියන දේ අවබෝධ කරගත් අයයි. කයේ ආයුෂ නිමීලා යන්න දෙන්න පුළුවන්. එය කරන්නෙ ද්වේශසහගතව, අවිද්‍යාවෙන් මුලාවෙලා නෙමෙයි. ඒ නිසා ඒ අයට නැවත දුක, අකුසල කර්ම ඇතිවෙන්නෙ නෑ. ඒ නිසා ආයු සංස්කාරය කළා කියලා තමන් සිටින තැනින් පහළට වැටීමක් ‍හෝ දුකට පත්වීමක් සිදු වෙන්නෙ නෑ.

* දිවි නසාගැනීමට තැත් කරන්නන්, ඉන් මුදා ගැනීමේ වගකීම ඔබ වහන්සේ දකින්නෙ කොහොමද?

ඒක උතුම් මිනිසුන් ලෙස අපගෙන් ඉටුවිය යුතු යුතුකමක්. සොබාදහම හා තමා ඇතුළු සතුන් රැක ගැනීම, මිනිසත්කමේ නාමයෙන් කරන මහඟු මෙහෙයක්.

මුලාශ්‍රය: දිනමිණ

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435