නිකමෙක් වගේ හිතන්නේ නැතිව නායකයෙක් වගේ හිතමු!

මහත්මා ගාන්ධි, තෙරේසා මවුතුමිය, ලින්කන්, සංගක්කාර කිව්ව සැණින් ඔබට මතක් වෙන්නේ කුමක්ද? ඔබට මුලින්ම මතක් වෙන්නේ ඔවුන් නායකයන් කියලා. ඔව්, සැබැවින්ම ඔවුන් විවිධ ක්ෂේත්‍රවලට අයත් ප්‍රබල නායකයන් කිහිප දෙනෙක් තමයි. අපි ඒ ආකාරයෙන් වෙනත් පුද්ගලයන්ගේ නායකත්වයන් පිළිබඳ නිතරම කතා කරනවා. සමහර අවස්ථාවල අපි ඒවා විවේචනය කරනවා. සමහර අවස්ථාවල අපි ඒවා අගය කරනවා. ඒත් ඔබ ඔබගේ නායකත්වය ගැන හිතලා තියෙනවාද? ඔබ දන්නවාද ඔබගේ නායකත්වයේ තිබෙන ප්‍රබල සහ දුබල තැන්. කවදාහරි දවසක ඔබ හිතලා තියෙනවාද ඔබ නායකයෙක් කියලා. එහෙමනම්, අද අපි කතා කරපු වෙනත් අයගේ නායකත්ව ශෛලියන් නොව ඔබගේ නායකත්වය පිළිබඳව 18න් පසු ජීවිත සාර්ථකත්වයට නායකත්වය ලොකු බලපෑමක් කරනවා.
එහෙම කිව්ව ගමන් ඔබට හිතෙන්න පුළුවන් මම කොහොමද නායකයෙක් වෙන්නේ කියලා. නමුත් ඉතා කනගාටුදායක තත්ත්වයත් ඒකයි, එනම් බොහෝ දෙනෙක් හිතන්නේ ඔවුන් නායකයන් නොවෙයි කියලා. නායකත්වය සම්බන්ධව සාමාන්‍ය පුද්ගලයන් තුළ පවතින මතය ඉතා ප්‍රාථමිකයි. බොහොමයක් පුද්ගලයන් හිතන්නේ නායකත්වය කියන්නේ සාමාන්‍ය පුද්ගලයන් තුළ නොපවතින යම් කිසි අධිකාරිමය බලයක් හරහා පිරිනැමෙන දෙයක් කියලා. නමුත් ඔබ දන්නවාද යමෙකුගේ එම සිතිවිල්ලම ඔහු හෝ ඇයව පිටුපසට අදින ප්‍රබල සෘණාත්මක බලයක් වෙනවා කියලා. ඇත්තටම නායකත්වය කියන්නේ එහෙම අමුතු ආකාරයට ලැබෙන දෙයක් නෙවෙයි. නායකත්වය කියන්නේ ඔබ තුළම පවතින දෙයක්. මම දන්නවා ඔබ ඒක විශ්වාස කරන්න කැමැති නැහැ. නමුත් ඔබ ඒක විශ්වාස කරනවා නම් මෙන්න පිළිගන්න අපේ ස්තුතිය. තමා තුළ වූ නායකත්වය වටහාගත් පුද්ගලයන් නායකත්වයේ සලකුණු ලෝකයේ සටහන්කර මිය යන අතර එහි බලය වටහා නොගත් 95%ක් පමණ වූ පිරිස මිය යන්නේ හැමදාම අනුගාමිකයෙක් හෝ සාමාන්‍ය පුද්ගලයෙක් ආකාරයටයි.
ඔබගේ ජීවිතය නිවැරැදිව යම්කිසි දිශානතියකට ගෙන යන්න ඔබට අවශ්‍ය නම් ඔබ ඔබ තුළ තිබෙන නායකයා අවදි කරගන්න. නිතරම ඔළුවට ගන්න නායකත්වය පිළිබඳ පළමු සහ ප්‍රබලම නීතිය එනම් නායකත්වය එන්නේ කිසියම් තනතුරක් හරහා නෙවෙයි. නායකයෙක් වෙන්න ජනාධිපති වෙන්න ඕනි නැහැ. නායකයෙක් වෙන්න සමාගමක ඉහළ කළමනාකරුවෙක් වෙන්න අවශ්‍ය නැහැ. නායකත්වය එන්නේ තනතුරක් තුළින් නොව එය එන්නේ යමකුගේ
ඇතුළතින්. ඒ කියන්නේ හදවතින්.
ඇයි අපි අපගේ තුළ සිටින නායකයා අවදිකරගත යුත්තේ? ඒක තමයි ඊළඟට එන ප්‍රධානම ගැටලුව. ඔබ නායකයෙක් ලෙස සිතන්න පටන් ගැනීම ඔබ කුමන ක්ෂේත්‍රයක නියැළුණත් නායකත්වය ඊට එක් කරන්නේ දැවැන්ත ශක්තියක්. එසේම නායකයෙක් ලෙස සිතන්න පටන් ගැනීම තුළ ඔබ විශිෂ්ට දේවල් කරන්න තවත් තව තවත් පෙලඹෙනවා. බුදුරජාණන් වහන්සේ නිතරම තම ශ්‍රාවකයන්ට දේශනා කරමින් පවසා සිටියේ තමාගේ නායකයා තමාම ලෙස හිතන්න කියලා. එයින්ම මනාව පැහැදිලි වෙනවා නායකත්වය ගැන මම මේ කියන කාරණය. එනම් නායකයෙක් වෙන්න තනතුරක් හෝ බලයක් ලැබෙන තුරුම සිටිය යුතු නැහැ කියන දේ තරමක් නෙවෙයි ඉතා පැරැණි දෙයක් කියලා. බොහොමයක් දෙනා එහි බලය සහ අගය තාම වටහාගෙන නැහැ. රැකියාවට එන ළාබාල තරුණයා නායකත්වය දකින්නේ ඔහු තුළ නොව ඔහුගේ ප්‍රධානියා තුළ. ඔහු හිතන්නේ ඔහුටත් නායකයෙක් විය හැක්කේ ප්‍රධානියෙක් වුණොත් පමණයි කියලා. ඉතින් ඔහු අංශ ප්‍රධාන තනතුරක් ලැබෙන තුළ නායකයෙක් ලෙස සිතන්නට පටන්ගන්නේ නැහැ. ඒත් ඔහු දන්නේ නැහැ රැකියාව පටන්ගත් දින සිටම නායකයෙක් ලෙස හැසිරුණොත් අංශ ප්‍රධානියා වීමේ සිහිනය ඉක්මන් වෙනවා කියලා. මිනිස්සු මහත්මා ගාන්ධි නායකයෙක් ලෙස සලකන්න පටන් ගත්තේ ඔහුට යම් තනතුරක් හිමි වූ පසුවද? නැහැ නේද. මහත්මා ගාන්ධි නායකත්වය අරඹන්නේ දිගුකාලීන අරමුණක් ඔස්සේ ඔහු තුළින් ඔහු නායකයෙක් බව ඔහු කාටවත් පැවැසුවේ නැහැ. නමුත් ඔහු භාරත දේශයටම පෙනෙන්න නායකයෙක් ලෙස ආදර්ශවත්ව හැසිරුණා.
මම මහත්මා ගාන්ධි ගැන පොඩි කතාවක් කියන්නම්. දිනක් මහත්මා ගාන්ධි තම අනුගාමිකයන් කැටුව ගමනක් යන්න පිටත් වුණා. මහත්මා ගාන්ධි ඇතුළු පිරිස ඔන්න දුම්රියට ගොඩවෙන්න හදනකොටම මහත්මා ගාන්ධිගේ එක් සෙරෙප්පුවක් ගැලවිලා දුම්රිය නැවතුම්පොළේ වේදිකාවට වැටුණා. ඒත් සමඟම දුම්රිය ඉදිරියට ඇදෙන්න වුණා. මහත්මා ගාන්ධි ඒ අවස්ථාවේ සිටියේ දුම්රියේ එක සෙරෙප්පුවක් පමණක් පැලැඳගෙන. ඒ අවස්ථාවේදී මහත්මා ගාන්ධි ඔහුගේ පැලඳගෙන සිටින සෙරෙප්පුවත් ගලවලා අර සෙරෙප්පුව වැටුණු තැනටම විසි කළා.
“ඇයි ඔබ අනෙක් සෙරෙප්පුවත් විසි කළේ” විමතියට පත් සහායකයෙක් ඔහුගෙන් විමසුවා.
“එක සෙරෙප්පුවකින් මට ඇති වැඩක් නැහැ. දැන් දුප්පත් මිනිහකුට ඒක පාවිච්චි කරන්න පුළුවන්” ගාන්ධි උත්තර දුන්නා.
ඒක සරල දෙයක්. නමුත් ඒ සරල දේ අනුගාමිකයන් තුළ මහත්මා ගාන්ධි පිළිබඳ දැවැන්ත ආකල්පයක් ගොඩනඟනවා. ඒක නිසා නායකත්වයේ බලය ගොඩනැඟෙන්නේ එක පාරටම කරන විශාල වෙනස්කම් තුළින් නෙවෙයි. එය ගොඩනැඟෙන්නේ පුංචි පුංචි කරුණු කාරණා විශාල ප්‍රමාණයක් මතින්. ඉතින් නායකයෙක් වගේ හිතන්න. සැබෑ නායකයා හිතන්නේ සාමාජිකයන් පාලනය කරන්න නෙවෙයි සාමාජිකයන් අරමුණු වෙත පොලඹවන්නයි. පෙලඹවීම සැබැවින්ම පාලනයට එහා ගිය මැජික් බලයක් තියෙන සංකල්පයක්. තරුණ කාලය එහෙම සංකල්පවලින් පිරුණු කෙනෙක් වෙන්න ඉතා හොඳම කාලයක්.

මුලාශ්‍රය: මව්බිම

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435