නාඩි වැටෙන්නේ නම් දරමිටියක්‌ හෝ රට පැටවීම

විදේශ ගතවන සංක්‍රමණිකයන්ගේ සංවර්ධනය, සුබසාධනය හා අයිතීන් ආරක්‍ෂා කරදීම වෙනුවෙන් ක්‍රියාත්මක වන ප්‍රධාන ආයතනය වන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයයි. ඒ අනුව සංක්‍රමණිකයන්ගේ සුබසාධනය ඉහළ දැමීමත්, අයිතීන් ආරක්‍ෂා කර දීමටත් පසුගිය රාජ්‍ය පාලනය තුළ ඉතාමත් සාධනීය පියවරයන් රාශියක්‌ ගෙන තිබුණි. ඒ අතර නොකළ යුතු දෑ මෙන්ම නොවිය යුතු දෑ ද රාශියක්‌ තිබුණි. කෙසේ වුවත් වර්තමානය වන විටත් සංක්‍රමණික ක්‍ෂේත්‍රය තුළ නොවිසඳී ඇති ගැටලුද රාශියක්‌ ඉතිරිව පවතින බව දැකිය හැකිය.

වර්තමානය වන විට නව රජයක්‌ බලයට පත් වී ඇත. එමෙන්ම නව ඇමතිවරියක්‌ ද පත් වී ඇත. ඇයද කාන්තාවකි. සංක්‍රමණික ක්‍ෂේත්‍රය තුළ ද බහුතරයක්‌ කාන්තාවන් වන අතර බොහෝ ගැටලුවලට හා හිංසනයන්ට මුහුණ දෙන්නේද කාන්තාවන්ය. ඉතිහාසය තුළ හැම විටම දේශපාලන ක්‍ෂේත්‍රය තුළත් රාජ්‍ය සේවය තුළත් ඉහළ තලයට පැමිණි කාන්තාවන් බොහෝ දෙනකු කටයුතු කර ඇත්තේ පුරුෂ මූලිකවය. ඒ නිසාම කාන්තා ප්‍රජාවට ආවේණික වූ ප්‍රශ්න පිළිබඳව එතරම් සංවේදීව ඔවුන් කටයුතු කර නැත. නමුත් කඳුළත් අරන් දේශපාලනයට පැමිණ ඉතා කෙටි කලකින්ම පාර්ලිමේන්තුවට පැමිණි වර්තමාන රජයේ විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරාළ කාන්තා ගැටලු කෙරේ ඉතා සංවේදීව කටයුතු කරනු ඇතැයි සිතිය හැකිය. විදේශ ගතවන සංක්‍රමණික සේවා ක්‍ෂේත්‍රය තුළ යහපාලනයක්‌ ඇති කිරීම සඳහා ඇමැතිතුමියට කළ හැකි ප්‍රධාන කටයුතු කීපයක්‌ කෙරේ අවධානය යොමු කිරීමට අදහස්‌ කරමි.

1985 අංක 21 දරණ ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්‌ති පනතට හා 1994 අංක 4 දරණ සංශෝධන පනතට අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය සඳහා 11 දෙනකුගෙන් යුතු අධ්‍යක්‍ෂ මණ්‌ඩලයක්‌ පත් කෙරෙන අතර එය අධිකරණ, විදේශ කටයුතු හා වනිතා කටයුතු අමාත්‍යාංශ ලේකම් හෝ ඔවුන් විසින් පත් කරනු ලබන අතිරේක ලේකම්වරු තිදෙනෙකුගෙන්, රැකියා එජන්සි නියෝජනය කරනු ලබන නියෝජිතයන් හතර දෙනෙකු හා අමාත්‍යතුමා විසින් පත් කරනු ලබන හතර දෙනකුගෙන් සමන්විත වේ. ක්‍ෂේත්‍රය තුළ සියලු තීන්දු තීරණ ගැනීම ඔවුන් සතුවනු ඇත. අවාසනාවකට පසුගිය කාලසීමාව තුළ අමාත්‍යවරයා විසින් පත් කරන ලද දෙදෙනකුද රැකියා ඒජන්සිකරුවන් වූ අතර ඒ අනුව රැකියා ඒජන්සිවරුන් 06 දෙනකු මෙම 11 දෙනා අතර විය. එහි ප්‍රතිඵලය වූයේ ගනු ලැබූ බොහෝ තීරණ හා තීන්දු ඒජන්සි කරුවන්ගේ පැවැත්ම හා වර්ධනය සඳහා මිස සංක්‍රමණිකයන් සඳහා නොවීමයි. ඇමතිතුමිය නම් කරන හතර දෙනා සඳහා මෙවර සංක්‍රමණික ප්‍රජාව වෙනුවෙන් කටයුතු කරන සිවිල් සංවිධාන නියෝජිතයකු හා සංක්‍රමණික ප්‍රජාව නියෝජනය කරමින් පිළිගත හැකි දැනුම ඇති එක්‌ අයකු පත් කිරීම තුළින් ඉදිරියේදී යහපත් ප්‍රවණතාවක්‌ මෙම ක්‍ෂේත්‍රය තුළ දැකීමට හැකිවනු ඇත.

මැද පෙරදිග ගෘහ සේවයට යන සෑම අයකු විසින්ම රු. 11652/- ක මුදලක්‌ ගෙවා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ ලියාපදිංචිය ලැබිය යුතු අතර එයින් එකතු කළ අගය මත පැනවෙන බදු මුදල ඉවත් කළ විට ඉතිරිවන මුදලෙන් 70% ක මුදලක්‌ නැවත රැකියා එජන්සි කරුවන්ගේ පැවැත්ම සඳහා මෙන්ම ඔවුන්ගේ ප්‍රවර්ධනය සඳහා ද වෙන් කෙරෙන අතර සංක්‍රමණිකයන්ගේ සුබසාධක අරමුදල සඳහා වෙන් කෙරෙන්නේ 20% වැනි ඉතා අඩු මුදලකි. සේවක පඩිනඩි හා අනෙකුත් සියලුම වියදම් දරන්නේ ඉතිරි මුදලෙනි. මේ අනුව ඉන් මහා භාණ්‌ඩාගාරයට බරක්‌ නොවන ලෙස හැමවිටම කටයුතු කළ හැකි විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය නඩත්තු වන්නේද සංක්‍රමණිකයන්ගේ මුදලෙන් බව අමතක නොකළ යුතුය. මෙසේ සුබසාධක අරමුදල සඳහා වෙන් කෙරෙන ප්‍රතිශතය ඉහළ දැමීම කෙරෙහි ඇමතිතුමියගේ අවධානය යොමු විය යුතුය.

එමෙන්ම දිවා කාලයේ සංක්‍රමණික ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටියත් රාත්‍රි කාලයේදී රැකියා එජන්සිකරුවන් හා ඩීල් දාන සමහර කාර්යාංශ නිලධාරීන් පිළිබඳව ද හඳුනාගත යුතු අතර පැමිණිලි යාන්ත්‍රණය හා සමතකරණ ක්‍රියාවලිය ශක්‌තිමත් හා කාර්යක්‍ෂම එකක්‌ කිරීම කෙරේද අවධානය යොමු කළ යුතුය. ඒ පිළිබඳව පැහැදිලිව ජාතික ප්‍රතිපත්තියක්‌ පසුගිය කාලය තුළ එළි දැක්‌විණි. එය ක්‍රියාවට නැංවීම කෙරේ දැඩි අවධානයක්‌ යොමු කළ යුතුය. ප්‍රජාව දැනුවත් කිරීම සඳහා කොමිස්‌ ලැබෙන මහා පරිමාණ විද්යුත් මාධ්‍ය දැන්වීම් වැඩ පිළිවෙළවල් ක්‍රියාත්මක කරනවා වෙනුවට සිවිල් සංවිධාන හරහා හෝ ප්‍රජාවට දැනුම ගෙන යා හැකි නිසි ක්‍රමවේදයක්‌ සකස්‌ කිරීම තුළින් නීති විරෝධී මාර්ග උපයෝගී කරගනිමින් විදේශ ගතවන පිරිස අවම කර ගැනීමට හැකි වන අතර සුරක්‍ෂිත විදේශ ගමනකට මග පාදා ගැනීමද සිදු කළ හැකිය. එමෙන්ම විදේශ ගතව සිටින ලක්‍ෂ විස්‌සකට ආසන්න ශ්‍රමිකයන් සඳහා ජන්දය භාවිත කිරීමට නිසි ක්‍රමවේදයක්‌ හඳුන්වාදීම ඇතුළු සංක්‍රමණික ප්‍රජාවගේ යහපතට හා යහපාලනයට හේතු වන ක්‍රියාවන් රාශියක්‌ කිරීමට නව රජයට අවස්‌ථාව උදා වී ඇත.

මුලාශ්‍රය: දිවයින

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435