නව සංක්‍රමණික රක්‍ෂණය ගැන විදේශ රැකියා ඇමතිනිය පැහැදිලිකරයි

සියදිවි හානි කරගැනීමටත් නව රක්‍ෂණයෙන් වන්දි… නව රක්‍ෂණයෙන් කටාර් හි මියගිය ශ‍්‍රමිකයාගේ පවුලට රුපියල් ලක්‍ෂ 10ක්…

“පසුගියදා කටාර්, කුවේට් හා ඩුබායි රටවල සේවය සඳහා යන විගමණික ශ‍්‍රමිකයින්ට හඳුන්වාදුන් රක්‍ෂණාවරණය පිළිබඳ විශාල විවේචනයක් සිදුකළා. කරුණු හරිහැටි නොදැන මෙම විවේචනය කළේ, දේශපාලනික මුහුණුවරකින්. හැබැයි නව රක්‍ෂණයෙන් සියදිවි හානි කරගැනීමටත් වන්දි ලබා දෙනවා. මේ සියළු වරප‍්‍රසාද ලැබෙන රක්‍ෂණාවරණය මීට වඩා අඩුවෙන් ලැබෙනවා නම් ඉදිරිපත් කරන ලෙස මම අභියෝග කරනවා.” විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළකළේ, කටාර්හීදී හදිසියේ ඇතිවූ හෘදයාබාධයකින් මියගිය කුරුණෑගල, බමුණුකොටුව, මහකෙළියෙහි පදිංචි නන්දන බණ්ඩාර හබරව මහතාගේ බිරිඳට හා දරුදෙදෙනාට කටාර් රියාල් 25225ක මුදලක් (රු. 1,008,800.00- රුපියල් දසලක්‍ෂ අටදහස් අටසියයක්) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය, “මෙම රක්‍ෂණ ක‍්‍රමය අපි හඳුන්වා දුන්නේ මරණයට හෝ පූර්ණ කාලීන ආබාධයකට ලක්වුවොත් කාර්යාංශය රක්‍ෂණය මඟින් ලබාදුන්නේ ලක්‍ෂ 4යි. හැබැයි කටාර්, ඩුබායි, කුවේට් සඳහා ක්‍ෂණික ආබාධයන්ට ලක්වූවන්ට වැඩිමුදලක් ගෙවන්න එමගින් හැකිවෙලා තියෙනවා. ඒ අනුව නන්දන මහතාගේ බිරිඳට හා දියණියන් දෙදෙනාට රුපියල් ලක්‍ෂ 10කට අධික මුදලක් පිරිනමනවා. අද වන විට මේ රක්‍ෂණය යටතේ විගමණික ශ‍්‍රමිකයින් 11078 දෙනෙකු ලියාපදිංචි වෙලා තියෙනවා. සියදිවි හානි කරගන්නා අයටත් මෙමගින් රක්‍ෂාවරණය හිමිවෙලා තියෙනවා.

පහුගිය කාලේ ගොඩක් චෝදනා, විවේචන එල්ල වුණා. අපි මේ හැමදෙයක්ම කරන්නේ ලාභයක් හෝ වෙනත් දෙයක් අපේක්‍ෂාවෙන් නෙවෙයි. මෙහි ප‍්‍රතිලාභ හැමෝටම ලබා දෙනවා. නව රජයේ මුදල් ඇමතිතුමා පළමු අයවැයෙන්ම යෝජනා කළා විදේශගතවන ශ‍්‍රමිකයින්ගේ අවම වැටුප ඩොලර් 300ක් බවට පත් කරන්න කියලා. ඒ අනුව අපි උපරිම උත්සහ ගන්නවා ඩොලර් 300ක් ලබාදෙන්න. එහෙම දෙන්නේනැති අය ගැනත් අපි ඉදිරියේදී කි‍්‍රයාමාර්ග ගන්නවා. විගමණික ශ‍්‍රමිකයින්ගේ මෙරට ඉන්න පවුල්වල ශ‍්‍රමිකයින්ගේ සුභසාධනය ගැනත් අපි කැපවෙලා වැඩකරනවා.”

කටාර්හීදි මියගිය නන්දන බණ්ඩාරගේ භාර්යාව වන කේ.ඒ.ආර්.ඞී.මැණිකේ මහත්මිය වෙත කටාර් රියාල් 12612.50 (රු.504,400.00) මුදලක්ද, අවුරුදු 19 ක් වන දියණිය සඳහා කටාර් රියාල් 6306.25 (රු.252,200.00) හා අවුරුදු 15 ක් වන දියණිය සඳහා කටාර් රියාල් 6306.25 (රු.252,200.00) ක් ගෙවීමට නියමිතයි. එම රක්‍ෂණ ක‍්‍රමය යටතේ විදෙස් ගතවන පුදුගලයින් කිසිඳු ගෙවීමක් සිදු නොකරන අතර, අදාළ රටේ හාම්පුතුන් විසින් මෙම අනිවාර්ය රක්‍ෂණය සඳහා ගෙවීම් සිදුකරයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435