නංගි බසස් නවත්තන්නෙ අර ගසස් යට !

ඇය මැද පෙරදිග ගොස් වසර ගණනාවක් සේවය කර පැමිණි කතකි. මැදිවිය පසු කරමින් සිටියද ඇය හැසිරුණේ නිතරම තරුණියක මෙනි. ගමන බිමන, කතා බහ, ඇඳුම් පැලැඳුම් ආදී හැම දෙයකින්ම තමන් තරුණියක බව පෙන්වීමට ඇය උපරිම උත්සාහයක් ගත්තාය.

සිංහලෙන් හරියට අත්සන් කිරීමටවත් නොහැකි වුවද, තමන් ඉංග්‍රීසි දන්නා බව අනුන්ට පෙන්වීමට ඇය නොගත් උත්සාහයක් නැත. ඉංග්‍රීසි බසටත්, සිංහල බසටත් දෙකටම නැති සිංග්‍රීසි භාෂාවකින් ඇය කතා කළේ එබැවිනි.

එතෙර ගොස් පැමිණි පසු ඇයගේ ඒ හැසිරීම තව තවත් වැඩිවිය. කතා කරන හැම වචනයකටම අගට “ස්” අකුරක් එකතු කිරීමෙන් තමාගේ ඉංග්‍රීසි දැනුම අනුන්ට පෙන්විය හැකි යැයි සිතූ ඇය හැම තැනකදීම කතා කරද්දී එසේ කිරීමට අමතක නොකළාය. ගමේ කඩපොළට ගියද ඇය බඩු මිලදී ගනිද්දී මෙසේ හැසිරීමට තදින්ම ඉටා ගත්තාය.

“මුදලාලී… මට පාන්ස් ගෙඩියක් දෙන්න”
“මුදලාලී… ජෑම්ස් තියෙනවාද…?”
“අනේ මුදලාලී… මට දෙන්නකෝ අයිස් ක්‍රීම්ස් එකක්…”

මෙය ගමේ තරුණයන්ට මහත් විනෝදය ගෙන දෙන්නක් විය. ඇයගේ ගමනද අමුතුම ලතාවකට හැඩ ගැසුණකි. වයසින් අඩු කෙනකුටත්, අයියා, අක්කා, යනුවෙන් ඇය කතා කළේ ලස්සනට ඇද පැදය.

මේ කතා ඇසීම, ඇය ගමන් කරන හැටි නැරැඹීම ඇතැමෙකුට විනෝදයක් ගෙන දුන්නේය.
තරුණ ගැටව් ඇයට යස පාඩමක් ඉගැන්වීමට වෙලාව එනතුරු බලා සිටියේ නොඉවසිල්ලෙනි.
දිනක් ඇය පන්ජාබ් ඇඳුමකින් සැරසී විශාල අව් කණ්ණාඩියක් පැලැඳ ගාලු පාර අද්දරට එන විට තරුණ ගැටව් කීප දෙනෙක් සිටියේ ඇයගේ ගමන් විලාසය නරඹමිනි. අරුමයකට මෙන් ඇය එම තරුණ පිරිස වෙතටම පැමිණියේ ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කරමිනි.

“අයියා… බසස් නවත්තන්නේ කොතැනද?” ඇය සුපුරුදු ලතාවට ඇද පැද විමසුවාය.
“අපට අයියා කියන්න… තමුසේ… අපේ තාත්තගේ බාල දුවද…?”
එක් තරුණයෙක් මෙසේ අසත්ම අනෙක් පිරිස මහ හඩින් සිනාසුණේ ඇය තවත් අමාරුවේ දමමිනි. ඇය එසේ ඇසුවේ, බස් නැවතුම ගැන නොදැනද නොවේ. මේ සිදුවූ දෙයින් ඇයට සිතුණේ පොළොව පළාගෙන යන්නටය.

ගමේ කොල්ලන්ට කලර්ස් පෙන්වීමට ගොස් තමන්ගේ සායම සේදී ගියේ යැයි සිතමින් ඇය යන්නට හැරුණා පමණි.
“නංගී… බසස් නවත්වන්නේ අන්න අතන තියෙන ගසස් යට…” යනුවෙන් තවත් තරුණයෙක් කියනවාත් සමඟම අඩියට දෙකට බස් නැවැතුමට ගිය ඇය ඉන්පසු මේ අරුමෝසම් හැසිරීම් ප්‍රදර්ශනය කළේ නැත.
(සත්‍ය සිදුවීමකි, නම් ගම් මන–කල්පිතයි)

මුලාශ්‍රය: මව්බිම

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435