කොරෝනා වසංගතය තුළත් කාන්තාවන්ට රැකියාවේදී බරපතල හිංසනයන්ට මුහුණදීමට සිදුව ඇත

සෑම වසරකම නොවැම්බර් 25 ස්ත්‍රීන්ට සුවිශේෂී දිනයක් වන්නේ එදින ස්ත්‍රීන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කම් තුරන් කරලීමේ ජාත්‍යන්තර දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය නම්කර ඇත. එපමණක් නොව ලෝකය පුරා ස්ත්‍රී සංවිධාන මෙන්ම මානව හිමිකම් හා සිවිල් සංවිධාන මේ දිනයේ සිට දෙසැම්බර් 10 සමරන මානව හිමිකම් දිනය දක්වා දින 16ක අකණ්ඩ ක්‍රියාවලියක් සහිතව මානව හිමිකම, කම්කරු අයිතිවාසිකම් පිලිබදව දැනුවත් කිරීම් හා බලගැන්වීම් කෙරෙන්නේ වර්තමානයේ බහුලව මේ නීති හා අයිතිවාසිකම් උල්ලංඝණය වෙමින් පවතින නිසාය.

අපි නොවැම්බර් 25 පහුකලා පමණි. ලංකාවේ ශ්‍රම බලකායෙන්, විශේෂයෙන් නිදහස් වෙළඳ කලාපවල සිටින ශ්‍රම බලකායෙන් 80% පමණ සිටින්නේ ස්ත්‍රී කම්කරුවන්ය. ඔවුන් සිය අයිතිවාසිකම් කඩවීම් පිළිබදව කොතෙකුත් කෑ ගැසුවත්, හඩ නැගුවත් අදාල පාලකයන්ට හා බලධාරීන්ට ඒවා බීරි අලින්ට වීනා වාදනය කරනවා වැනිය. ඒ සියලු කෙනෙහිලිකම් අතරතුර පැමිණි කොවිඩ් වසංගතය ඔවුන්ව කබලෙන් ලිපට ඇද දැමුවා සේ අසීරු තත්ත්වයන් උදාකර ඇත.

කොවිඩ් වසංගතය ආතතියෙන් පෙලෙන පුද්ගලයන්ගේ ගොදුරු බවටත් ඔවුන් ප්‍රවාහනයේදී, වැඩ බිමේදී, බෝඩිං වලත්, තමන්ගේ නිවෙස් වලදීත් පත් වී ඇත. කොවිඩ් 2 වන රැල්ලේදී ඔවුන් තවත් දරුණු ලෙස එසේම බරපතල ප්‍රචණ්ඩත්වයන්ට ලක්වීම්, ලිංගික බලහත්කාරයන්ට ලක්වීම් දක්නට හැක.

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය දෘෂ්ටිකෝණයකින් බැලීමේදී ඔවුන් රැකියාවක් කරමින් රටේ ආර්ථික සංවර්ධනයට උර දෙමින් කටයුතු කළා මෙන්ම තම පවුලද නඩත්තු කිරීමේ භාරදූර වගකීම දැරූ බව බොහෝ අයට අමතක වීම, සමජයට අමතක වීම බරපතල ප්‍රශ්නයක් බවයි. එහෙත් ඔවුන්ගේ හඩ, තීන්දු  ගැනීමේ ශක්තිය දියාරු කරමින් කොවිඩ් තත්ත්වය ඇය බෙලහීන තැනැත්තියක් බවට පත් කරනු ලැබීය. ඒ අතිකාල නොමැති වීම හා නියමිත වැටුප් නොලැබීම වැනි කරුණු හේතු කොටගෙනය.

මේ ප්‍රශ්නය තුල ස්වාමි පුරුෂයා හෝ පවුලේ අය තුල ඇගේ අගය අඩුවීම නිසාද හෑල්ලුවට හා ප්‍රචණ්ඩත්වයන්ට ලක්විණි. එසේම ප්‍රවාහන අපහසුතා නිසා ඔවුන්ට සේවය සදහා යෑමත් දුෂ්කර විණි. මේ හේතුවෙන් බොහෝ වැඩ කරන කාන්තාවන්ට සිය රැකියාව පවා අහිමි විය. සමහර කර්මාන්තශාලා කොවිඩ් නිසා වසා දමනු ලැබීය. ඒවා වරින් වර විවෘත කලත් මුලින්ම කැදවනු ලැබූයේ පිරිමි සේවකයන්ය. ගැබිණි මවුවරුන් සේවයට කැදවූයේ නැති අතර කිරි දෙන මවුවරුන්ට පැයක් කලින් යාමට අවසර දුන්නත් ප්‍රවාහනය නොමැති නිසා එම විකල්ප පහසුකමද තේරුමක් නැති විය. ඔවුන්ටද අනෙක් සේවිකාවන් සේවය නිම කරන තුරු සිටින්නට සිදු විය.

සමාජයේ දැඩි ලෙස ස්ථාපිත වී තිබෙන පීතෘ මූලික සමාජ ආකල්ප නිසා හිංසනයන්ට මෙන්ම නොයෙකුත් ආකරයේ වෙනස්කම්වලට එරෙහිව හඩක් නැගීම ඉමහත් දුෂ්කර කාර්යයක් වී තිබේ. ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීම ඉතාමත් ප්‍රමාදය. හිංසනයට ලක් වූ වින්දිත කාන්තාවන්ට සාධාරණය ඉටු කිරීම සම්බන්ධයෙන් රජයේ, මාධ්‍යයේ මෙන්ම සමාජයේද මීට වැඩි අවධානයක් යොමු විය යුතුය. 2019 ජුනි 21 පැවැත්වූ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 108 වන සම්මේලනයේදී ප්‍රචණ්ඩත්වය හා හිංසනය මුලිනුපුටා දැමීමට සම්මත කරගත් සම්මුති හා නිර්දේශයන්ට ශ්‍රී ලංකාවත් අනුගත විය යුතු බව සිහිපත් කළ යුතුයි. සියලු කම්කරුවන්ගේ නාමයෙන් සහ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන්.

පද්මිනි වීරසුරිය, අධ්‍යක්ෂිකා, ස්ත්‍රී මධ්‍යස්ථානය

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435