කම්කරු දෙපාර්තමේන්තුව ගැන කම්කරුවන්ට ඇති විශ්වාසය කෙමෙන් හීනවෙයි

“නිදහස්වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය” විසින් සංවිධානය කරණ ලද සම්මන්ත්‍රණයක් පසුගිය 09 දින කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහි තේමාව ලෙස සඳහන් කර තිබුණේ  “සේවකයින් රැකගනිමු – කම්කරු දෙපාර්තමේන්තුව බේරාගනිමු”  යන්නයි. මෙහිදී වර්තමානය වන විට කම්කරු දෙපාර්තමේන්තුව පත්ව ඇති තත්ත්වය සහ ලක්ෂ 90 කට වැඩි පෞද්ගලික අංශ සේවක සේවිකාවන් තම සේවා ස්ථාන වලදී මුහුණපාන අර්බුධ පිලිබඳවත්එම අර්බුධ වලට කම්කරු දෙපාර්තමේන්තුව විසින් දක්වන දියාරු ප්‍රතිචාර පිළිබඳවත් දීර්ග ලෙස සාකච්ඡා කරන ලදී.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නිදහස්වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සමලේකම් ඇන්ටන් මාකස් සඳහන් කර සිටියේ කම්කරු දෙපාර්තමේන්තුවකෙරෙහි ඇති විශ්වාසය හීන වෙමින් සහ පිරිහෙමින් පවතින බවයි. පසුගිය වසර 90ක පමණ කාලය තුළ ශ්‍රම බලකායේ සුභසාධනය හා ආරක්ෂාව සඳහා මුලිකකම්කරු නීති 50ක් පමණ සම්මත කීරීමට ව්‍යවස්ථාව විසින් පියවර ගෙන ඇතත් කම්කරු දෙපාර්තමේන්තුව මේවා ක්‍රියාත්මක කිරීමෙන් බැහැරව සිටී. මේ අනුව වර්තමානය වන විට කම්කරු කොමසාරිස්වරයාගේ පාලනය යටතේ පෞද්ගලික අංශයේ සේවක සුබසාධනය හා ආරක්ෂාව වෙනුවෙන්සිදු විය යුතු රාජකාරී පසෙකලා ඔහු විසින්  හාම්පුතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ඒ සමග ක්‍රියාකරන තත්ත්වයක් ඇති වෙමින් පවතී.මෙහිදීහාම්පුතුන්ගේ වාසියට සහ හාම්පුතුන්ගේ අභිලාෂයන් උදෙසාකම්කරු දෙපාර්තමේන්තුවේ මූලික වගකීම්පැහැරහරින තත්ත්වයක් දක්නට ලැබීම කනගාටුවට කරුණකි.

මෙහිදී මොවුන් උක්ත ගැටලුව සම්බන්දව කාරණා කිහිපයක් ඔස්සේ ජනාධිපති වරයා වෙත ඉකුත් ජූලි මස 25 දින ලිපියක් යවා ඇති අතර ඒ සම්බන්ධවද දීර්ග ලෙස සාකච්ඡා කරන ලදී. එහි ඇතුළත් ප්‍රධාන කාරණා කීපයකි.

  1. විවිධ කර්මාන්තවල නියැලී සිටින පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම සේවා කොන්දේසිවලට අදාළ පඩි පාලක සභා තීරණ මගින් සහතික කර ඇති සේවක කොන්දේසි දැනුවත්ව අත්හැර ඇත.
  2. 1999 අංක 56 දරණ කාර්මික ආරවුල් සංශෝධන පනතේ 32 වන වගන්තිය අනුව වෘත්තීය සමිති සාමාජිකත්වය තහවුරු කිරීම සඳහා කරන ඉල්ලීමේ දින සිට දින 30ක් ඇතුලත පැවැත්වියයුතු සේවක මත විමසුම් පැවැත්වීම මග හැර සිටීම.
  3. කම්කරු නීති මෙන්ම විවිධ අවස්ථාවන්හි අධිකරණය මගින් ලබා දෙනු ලැබූ අවසාන තීන්දු පුර්වාදර්ශ ලෙස භාර ගැනීම හා ඒ අනුව ඉදිරි තීන්දු ගැනීම පිළිගත් සාධාරනත්වයන් වේ. එහෙත් මේ වනවිට සේවක අයිතිවාසිකම් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී එවැනි පුර්වාදර්ශ තින්දු මත පදනම් නොවී, මෙතෙක් කම්කරු කොමසාරිස් විසින් ආරවුල් විසදීමේදී ලබා ඇති තින්දු තීරණ නොතකා ඒ හා සමාන ආරවුල් සම්බන්ධයෙන් හාම්පුතුන්ට වාසිදායක ලෙස අර්ථකථනය කෙරෙන නිර්දේශ ලබාදෙනු ලබන්නේය.
  4. 1999 අංක 56 දරණ කාර්මික ආරවුල් සංශෝධන පනත අනුව අසාධාරණ කම්කරු ක්‍රියාවන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට අකමැත්තක් හා සුදානමක් නොමැති බව කම්කරු දෙපාර්තමේන්තුව දිගින් දිගටම ප්‍රදර්ශනය කිරීම.
  5. 2016 අංක 4 දරණ සේවකයින්ගේ ඇය වැය සහන දීමනා පනතේ 9 වන වගන්තියට පටහැණි ලෙස කටයුතු කරමින් ආරක්ෂක සේවාවන්හි හා පවිත්‍රතා සේවාවන්හි සේවකයන් හට හිමිවිය යුතු මෙම දීමනාව හාම්පුතුන් විසින් නියමිත කලට නොගෙවීම නිසා ගෙවිය යුතුව ඇති හිඟ මුදල් ගණනය නොකරන ලෙසට උපදෙස් ලබා දී ඇත.
  6. සමාගම් වල නිෂ්පාදන වියධාම අඩු කර ගැනීම සඳහා සෙනසුරාදා කෙටි වැඩ දිනයේ සේවකයන් සේවයේ නොයෙදවිමට සේව්‍ය සමාගම් කරනු ලැබූ ඉල්ලීම මත දින 5 ක වැඩ සතිය ක්‍රියාත්මක කිරීමට ජාතික කම්කරු උපදේශක සභාවසමග කිසිදු සාකච්චාවක් නොකිරීමෙන් පමණක් නොව,ජාතික කම්කරු උපදේශක සභාවට කිසිදු දැන්වීමක් හෝ නොකර හම්පුතුන්ගේ වාසියට අර්ථ ගැන්විය හැකි වෙනත් කොන්දේසි මත දින 5ක වැඩ සතිය ක්‍රියාත්මක කිරීමට සේව්‍ය සමාගම් වලට අවසර දීමට කටයුතු කර ඇත.

තවදුරටත් ප්‍රකාශ කළ පරිදි කම්කරු ජනරාල්වරයාප්‍රමුඛ කම්කරු දෙපාර්තමේන්තුව මිලියන 9ක පමණ පෞද්ගලික අංශ සේවක අයිතිවාසිකම් උල්ලංඝනය කරන සහ වෘත්තීය සමිති ගණන් නොගන්නා  හාම්පුතුන්ගේ ආයතනයක් බවට පත්ව ඇත. එසේම මෙම ගැටළු ප්‍රශ්න කරන බැවින් තම සංගමයට ද බලපෑම් ඇති බව ඇන්ටන් මාක්ස් පවසයි.එසේම මෙම ගැටළු සම්බන්ධව  සියලුම වෘත්තීය සමිති දැනුවත් කරමින් සහ ප්‍රසිද්ධියේ සාකච්ඡා කරමින්, කුමන අභියෝග බාධක පැමිණියද කම්කරු දෙපාර්තමේන්තුවේ උක්ත අර්බුධකාරී  ක්‍රියාමාර්ග නැවත්වීමට කටයුතු කරන බවද වැඩිදුරටත්  ප්‍රකාශ කළේය. එසේම මේ සම්බන්ධව ජනාධිපතිවරයා මැදිහත්වනු ඇතැයි බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කරන් ලදී.

මෙම සම්මන්ත්‍රණය සඳහානිදහස්වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය, ලංකා වෘත්තීය සමිති සංගමය, එක්සත් කම්කරු සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් සහ වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සාමාජික සාමාජිකාවන් විශාල ප්‍රමාණයක් ද සහභාගී විය.

වැඩබිම

 

 

 

 

 

 

 

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435