උසස් පෙළ අගයන පරික්ෂකයින් හා ගුරුවරුන් අනතුරට නොහෙළනු

අ.පො.ස උසස් පෙළ උත්තර පත්‍ර ඇගැයීම් වලට පරීක්ෂකයින් ලෙස සහභාගි වීමට නියමිත ගුරුවරුන් හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දැඩි අපහසුතාවකට හා අවදානමකට ලක් කිරීමට අදාළව ලංකා ගුරු සේවා සංගමය විසින් විභාග කොමසාරිස් ජනරාල් වෙත ලිපියක් යොමු කර ඇත.

කොරෝනා වසංගත අවදානම තුළ සැලසුමකින් තොරව අ.පො.ස උසස් පෙළ උත්තර පත‍්‍ර ඇගයීම් ආරම්භ කිරීම සම්බන්ධව.

කොරෝනා වසංගත අවදානම තුළ කිසිදු සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙලක් සකස් නොකොට දෙසැම්බර් 01 වැනිදා ආරම්භ කිරීමට නියමිත අ.පො.ස උසස් පෙළ උත්තර පත්‍ර ඇගැයීම් කටයුතු නිසා ඊට පරීක්ෂකයින් ලෙස සහභාගි වීමට නියමිත ගුරුවරුන් හා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් දැඩි අපහසුතාවකට හා අවදානමකට ලක් කිරීම සම්බන්ධව ලංකා ගුරු සේවා සංගමය ඔබගේ දැඩි අවධානය යොමු කරමු.

02. විභාග දෙපාර්තමේන්තුව මෙම ඇගයීම් ආරම්භ කිරීමට පෙර පවත්වන ලද රැස්වීම්වලදී මේ බව හොඳින් තහවුරු වී ඇති බව වාර්තා වේ. විශේෂයෙන් දුර බැහැර සිට අදාල ඇගයීම් මධ්‍යස්ථානවලට සහභාගි වන ගුරුවරුන්ට හා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට ඒ සඳහා සෞඛ්‍ය ආරක්ෂිත ප්‍රවාහන හෝ නේවාසික වැඩපිළිවෙලක් සකස් කිරීමට කටයුතු කර නැත.

03. විශේෂයෙන් ඇගයීම් මධ්‍යස්ථාන වෙත නියමිත වේලාවට වාර්තා කිරීමට නම් රට තුල පොදු ප්‍රවාහනය සාමාන්‍ය තත්වයක පැවතිය යුතු අතර එසේ නොවන අවස්ථාවක ඒ සඳහා විභාග දෙපාර්තමේන්තුව විශේෂ බස් රථ හෝ වෑන් රථ යෙදවිය යුතු ව ඇත. නැතිනම් මෙම ගුරුවරුන්ට අදාල දින ගණන ගත කිරීම සඳහා සෞඛ්‍යාරක්ෂිත නේවාසික පහසුකම් ලබාදීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කළ යුතුව ඇත.

04. නමුත් මේ කිසිවක් සඳහා වැඩපිලිවෙලක් හඳුන්වා දීමට අපොහොසත් වී ඇති අතර ඔවුන්ගේ පැමිණීම සඳහා ඔබ විසින් කෙටි පණිවුඩයක් පමණක් ලබාදී ඇති නමුත් එහිදී නේවාසික හෝ ප්‍රවාහන පහසුකම් පිළිබඳව කිසිදු සඳහනක් නැත.

05. තවද බස්නාහිර පළාත හා කුරුණෑගල යන දිස්ත්‍රික්කය තුළ පදිංචි ගුරුවරුන් පවතින වසංගත තත්වය හේතුවෙන් උත්තර පත්‍ර ඇගයීම් සඳහා සහභාගි කර නොගෙන ඇති අතර එමඟින් ඇගයීම් සම්බන්ධව දීර්ඝ කාලීන අත්දැකීම් හා නිපුණතාවයන්ගෙන් පිරිපුන් ගුරුවරුන් රැසකගේ සේවය මේ සඳහා නොලැබී යනු ඇත. මෙය අදාල විභාගයට පෙනී සිටි සිසු දරුවන්ට සිදුකරන බලවත් අසාධාරණයකි.

එහෙයින් මෙම ඇගයීම් ආරම්භ කිරීමට පෙර අප සංගමය ඉහත අවධාරණය කරනු ලබන කරුණු සම්බන්ධව ඔබගේ දැඩි අවධානය යොමු කර ඊට අදාල සැලසුම් සහගත වැඩපිළිවෙලක් සකස් කර ඉන් අනතුරුව අදාල ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස ලංකා ගුරු සේවා සංගමය ඉතා  ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිමු.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435