ඉතිරි කිරීමේ බැංකුවත් මිනිස්බල සටනේ

මෑන් පවර් සමාගම් හරහා පැමිණ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සේවයේ නියුතුව සිටින සේවක සේවිකාවන් දින දෙකක කාලයක් නිහඬ පිකටිං ව්‍යාපාරයක් දියත් කර තිබේ.

මාධ්‍ය මගින් ප්‍රසිද්ධියක් ලබානොදුන්නද 25දා සහ 24දා මෙලෙස පිකටිං ව්‍යාපාරයක් දියත් කළ බව ‘ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සමාගම් සේවක එකමුතුවේ’ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

කොන්ත්‍රාත් පදනම මත මිස සේවය ස්ථීර නොමැතිව අවුරුදු විසි ගණනක සිට සේවය කරන සේවකයින් දෙදෙනෙකු ඇතුළුව වසර ගණනාවක සිට සේවය කරන සේවක සේවිකාවන් 600 ක් පමණ සිටින බව හෙතෙම කියා සිටියේය.

මෙම බොහෝ සේවකයින් විවිධ මෑන් පවර් සමාගම් හරහා බඳවාගනු ලැබූ බව කීවද එයින් අති බහුතරයක පිරිස බැංකුවේ පුරප්පාඩු මත හෝ ඇතැම්විට බැංකුවේම ඉහළපෙල උදවියගේ දැන හැඳුනුම්කම මත පැමිණ බැංකුව මගින්ම පවත්වන ලද සම්මුඛ පරීක්ෂණ ආදියෙන් සමත්වී සේවය කරන අය බව අදාළ ප්‍රකාශයකයා පෙන්වා දුන්නේය.

එසේ වුවද එසේ පැමිණ සේවය කරන පිරිස්වල ලිපි ගොණු පසුව වෙනත් සමාගම්වලට ලබාදී එකි සමාගම්වලට වගකීම පවරා එතැන් සිට තුට්ටු දෙකට ශ්‍රමය සූරාගෙන කන තත්ත්වයක් උද්ගතවී ඇති බවත්,සේවක සේවිකාවන්ගේ නොදැනුවත්භාවය නිසා ඒ බව තහවුරු කරනු පිණිස ලියකියවිලි කිසිවක් නොමැති බවත් ජාතික ‘ඉතිරි කිරීමේ බැංකුවේ සමාගම් සේවක එකමුතුවේ’ප්‍රකාශකයා පෙන්වා දුන්නේය.

කෙසේ වෙත්ත අවස්ථා ගණනාවකදී මෙම සේවකයින් ස්ථීර කොට ඔවුන්ගේ වෘත්තීය සුරක්ෂිතභාවය ආරක්ෂා කරන ලෙස ඉල්ලා ඇතත් පාලකයින් විසින් කිසිදු අනුකූලතාවක් නොදැක්වූ බවත්, ඊට වෙනස්ව මෙවර මෙම ගැටළුව විසඳීමට ඉදිරි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගන්නා බව පරිපාලනය විසින් දැනුම්දුන් බවත් හෙතෙම සඳහන් කළේය.
අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු, සභාපතිතුමිය හා ක්‍රියාකාරී අධ්‍යක්ෂ යන තිදෙනාම ඉදිරි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගන්නා බව දැනුම්දී තිබීම දෙස සුබවාදීව බලන බව ඔහු කියා සිටියේය.
දෙසැම්බර් මස පළමු සතියේ හෝ දෙවන සතිය මූලාරම්භයේ යළි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිතව ඇති බවත්, එදින යම් සාධනීය ක්‍රියාමාර්ගයක් නොගතහොත් ඊට පසුදින සිටම දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණවීමට කටයුතු කරන බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435