ඉකාමා අවසර පත්‍රය ගැන නිවැරදිව දැනගන්න

මැදපෙරදිග රැකියාවක් සඳහා විදේශ ගත වන කාන්තාවක් දැනගත යුතුම නෛතික කාරණයක් ලෙස අකාමා හෙවත් ඉකාමා අවසර පත්‍රය පිලිබඳ ක්‍රියාකාරිත්වය හඳුනාගත හැකිය. ඉකාමා අවසර පත්‍රය ලබා නොගැනීමෙන් කරදරයට පත් වූ කාන්තාවන් ඉතිහාසයේ බොහෝය. ඉකාමා අවසර පත්‍රය යනු කුමක්ද? එහි වැදගත්කම හා නෛතික පසුබිම පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මංගල රන්දෙණිය මහතා සමග කළ සම්මුඛ සාකච්ජාවකි මේ.

ඉකාමා අවසර පත්‍රය ලෙස හඳුන්වන්නේ කුමක්ද?

ඉකාමා අවසර පත්‍රය අකාමා අවසර පත්‍රය ලෙසටත් හඳුන්වනවා. මැදපෙරදිග කලාපයේ ශ්‍රමිකයන්ට ඒ රට තුළ සේවය කිරීමට ලැබෙන නේවාසික අවසර පත්‍රය ඉකාමා අවසර පත්‍රය යි. රැකියා සඳහා මැදපෙරදිග යන සෑම සේවකයෙක්ම මෙම අවසර පත්‍රය ලබා තිබීම අනිවාර්යයි. එසේ නොවන සෑම ශ්‍රමිකයෙක්ම එරට නීත්‍යානුකුල නොවන ශ්‍රමිකයෙක් ලෙස සැලකේ. එම අවසර පත්‍රය තුළ ශ්‍රමිකයාගේ තොරතුරු මෙන්ම එරට හාම්පුතාගේ තොරතුරු ඇතුලත් වෙනවා. මෙම අවසර පත්‍රය ලබා ගැනීම වගේම එම අවසර පත්‍රයේ සඳහන් ඉකාමා අංකය මතකයේ තබා ගැනීමද හදිසි අවස්ථාවල කටයුතු කිරීමේදී ඉතාම වැදගත්.

මේ බලපත්‍රය ලබා දීමේ වගකීම පැවරෙන්නේ කාටද?
පැහැදිලිවම එරට හාම්පුතාට. ශ්‍රමිකයා විදේශගත වී දින 90ක් ඇතුලත හාම්පුතා විසින් මෙම බලපත්‍රය ලබාදිය යුතු වෙනවා. යම්හෙයකින් ලබාදීමක් නොකළහොත් එරට රජයට හාම්පුතාට දඩ ගෙවීමට සිදු වෙනවා. මෙම නේවාසික අවසර පත්‍රය නිකුත් කරන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින්. මේ සඳහා ශ්‍රමිකයාව වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කර ඔහු හෝ ඇය වැඩ කිරීම සඳහා සුදුසු යෝග්‍යතාවයකින් සිටින බව එරට රජය පිළිගත් වෛද්‍ය මධ්‍යස්ථානයකින් වෛද්‍ය සහතිකයක් ලබා ගත යුතුය. ගෘහ ආශ්‍රිත ආදී රැකියා සඳහා ඉකාමා අවසර පත්‍රය ලබා ගැනීමට එය ප්‍රමාණවත්. ගෘහ නොවන රැකියා සඳහා එරට හාම්පුතා ඉකාමා අවසර පත්‍රය ලබා ගැනීම සඳහා වැඩ අවසර පත්‍රයක් ලබාගත යුතු වෙනවා.

යම්හෙයකින් එරට හාම්පුතා ඉකාමා අවසර පත්‍රය ලබා ලබා ගැනීමට කටයුතු නොකළොත් ශ්‍රමිකයා කටයුතු කළ යුත්තේ කෙසේද?
ඉකාමා බලපත්‍රය ලබා තිබීම ශ්‍රමිකයාට හදිසි අවස්ථාවකට මෙන්ම රටින් පිටවීමට අවශ්‍යම අවසර පත්‍රය ලබා ගැනීමේදී අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මේ සඳහා සම්පුර්ණ වියදම් දැරිය යුත්තේ එරට හාම්පුතා. මේ සඳහා සෞදි රියාල් 600ක් පමණ වියදම් වෙනවා. යම් අවස්ථාවක ඉකාමා අවසර පත්‍රය ලබා නොදුන්නොත් ශ්‍රමිකයා ලඟම ඇති පොලිසියට පැමිණිලි කළ යුතුය. එවන් මොහොතක හාම්පුතාව පොලිසියට ගෙන්වා ගෙන ප්‍රශ්න කිරීමක් කර ගැටලුව විසඳීමක් කරනවා. මේ ආකාරයෙන් ප්‍රශ්න විසඳා ගත් අවස්ථා තිබෙන නිසා ශ්‍රමිකයා පොලිසියට පැමිණිලි කිරීමට බිය විය යුතු නැහැ. යම් අවස්ථා වල වසර දෙකක් පමණ ගොස් පොලිසියට පැමිණිලි කල අවස්ථා වලදී පවා මෙම අවසර පත්‍රය ලබා දීමට හාම්පුතාට සිදු වූ අවස්ථා තිබෙනවා.

ඉකාමා අවසර පත්‍රය සම්බන්ධ වත්මන් නෛතික තත්වය ක්‍රියාත්මක වන්නේ කොහොමද?
ඉකාමා අවසර පත්‍රය නොමැතිව සේවය කිරීම නීති විරෝධී ක්‍රියාවක්. වත්මන් නීතියට අනුව මෙම අවසර පත්‍රය නොමැතිව වැඩ කිරීම සෞදි රියාල් ලක්ෂයක හා වසර 2ක සිරදඬුවම් විඳීමට තරම් බරපතළ වරදක්. ඒ වගේම එය මෙරට ශ්‍රමිකයන්ට දැරීමට අපහසු මුදලක්. එරට හාම්පුතාටත් ඉකාමා අවසර පත්‍රය ලබා නොගෙන සේවයේ යෙදවීම හේතුවෙන් දඩ ගෙවීමට සිදු වෙනවා. යම් විටෙක ශ්‍රමිකයා සේවා ස්ථානය අතහැර ගියොත් හාම්පුතාට පොලිසියේ පැමිණිල්ලක් දමා සේවයෙන් නිත්‍යානුකුලව නිදහස් වීමට පුළුවන්. ඒ වගේම සේවා ස්ථානයෙන් දැඩි ලෙස අසාධාරණයක් වනවා නම් පොලිසියට පැමිණිල්ලක් කර සේවා නියෝජිතයාගේ මාර්ගයෙන් නීත්‍යානුකුල ලෙස වෙනත් සේවා ස්ථානයක් කරා යාමට හැකියාව තිබෙනවා. මෙහිදී ශ්‍රමිකයා අනිවාර්යයෙන්ම රැකියාව ලබාදුන් හාම්පුතා ළඟ සේවය කිරීම අනිවාර්යය අතර වෙනත් සේවා ස්ථානයකට මාරු වුවහොත් නැවතත් එම සේවා ස්ථානයේ හාම්පුතාගෙන් ඉකාමා අවසර පත්‍රයක් ලබා ගැනීමට ශ්‍රමිකයාට සිදු වෙනවා.

දැනට මැදපෙරදිග රටවල ඉකාමා අවසර පත්‍රය ලබා නොගෙන සේවය කරන ශ්‍රමිකයන් වෙනුවෙන් අරගෙන තිබෙන පියවර කුමක්ද?
එවැනි නීති විරෝධී ශ්‍රමිකයන් නිසා එරටට වගේම මෙරටට ද විශාල ප්‍රශ්න වලට මුහුණ පාන්නට සිදු වී තිබෙනවා. මේ නිසා සෞදි අරාබිය පොදු සමා කාලයක් ලබා දීලා තිබෙනවා. ඒ හරහා නීති විරෝධී ශ්‍රමිකයන්ට රටින් පිටවීමට කාලයක් ලබා දුන්නා. ඒ සිරදඬුවම් සහ දඩය කියන දෙකම නැතුව. මේ කාලය මේ වසරේ නොවැම්බර් 4 දක්වා තිබෙනවා. මේ නිසා මින් ඉදිරියට ඉකාමා නොමැතිව සේවය කිරීමෙන් වලකින්න. මොකද මින් ඉදිරියට පොදු සමා කාලයක් නොලැබෙන නිසා. යම් හෙයකින් නැවත ඉකාමා අවසර පත්‍රය නොමැතිව සේවයේ යෙදුණහොත් සිරදඬුවම අනිවාර්යයෙන්ම විඳින්න සිදු වෙනවා. ඒ සිර දඬුවම ඉතාම වේදනා සහගත කාලයක්. දඩය වුවත් රුපියල් ලක්ෂ තිහක් විතර වෙනවා. මේ නිසා මැදපෙරදිග යන සෑම ශ්‍රමිකයෙක්ම විදේශගත වූ සැනින් ඉකාමා බලපත්‍රය ලබා ගැනීමට කටයුතු කරන්න.

මංගල රන්දෙණිය
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි හා මාධ්‍ය ප්‍රකාශක
විදේශ සේවා නියුක්ති කාර්යාංශය
මුලාශ්‍රය: මව්බිම – විදෙස් සවිය අතිරේකය
වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435